ශ්‍රී ලංකා නිප්පොන් සංස්කෘතික කේන්ද්‍රයේ ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් ...

පෙබ 20, 2022

    ශ්‍රී ජයවර්ධනපුර, ඇතුල්කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානයේ ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සහ ගුණ සැමරුම් උත්සවය අද (20) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

    ශ්‍රී ලංකාවත් ජපානයත් අතර මිත්‍රත්වය හා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම අරමුණුකර ගනිමින් 1986 වසරේ දී ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය ආරම්භ කර තිබේ.

    ජපන් කැපකරු අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරිනැමීම, පූර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන, වෛද්‍යාධාර සේවා, විශේෂ අවශ්‍යතා ඇති සිසුන්ට සහ ස්වභාවික විපත් ආධාර දීම ඇතුළු වැඩසටහන් රැසක් ජපාන පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් නිප්පොන් කේන්ද්‍රය මගින් සිදු කරයි.

    ජපාන කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මේ වන විට ප්‍රදානය කර ඇති ශිෂ්‍යත්ව සංඛ්‍යාව 13,680කි. ශිෂ්‍යත්ව වැඩසටහනට වසර 35ක් සැපිරීම, අනුග්‍රාහකත්වය දක්වමින් කැපකරු දෙමාපියන්ව සිට මියගිය ජපාන පරිත්‍යාගශීලීන් සහ නිප්පොන් කේන්ද්‍රයේ ක්‍රියාකාරීන්ගේ ගුණ සැමරුම අද සිදු කෙරිණ.

    කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආගමික වතාවත් සිදු කිරීමෙන් උත්සවය ආරම්භ කෙරිණ.

    මේ වසර සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ශිෂ්‍යයන් දහසක් තෝරාගෙන තිබු අතර එය සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් සිසුන් පස් දෙනෙකුට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්‍රදානය කෙරිණ.

    උත්සවයට වැඩම කළ මහා සංඝරත්නයට පිරිකර පූජා කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ නිර්මාතෘ සහ කෝට්ටේ මහින්දාරාම විහාරාධිපති පූජ්‍ය මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමියන් බැහැ දැක පිළිසඳරක නිරත විය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල් යන මහත්වරු සහ ප්‍රාදේශීය දේශපාලනඥයෝ, රාජ්‍ය නිලධාරීහු හා ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ සහ විහාරස්ථ දායක සභාවේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News