පුළුල් නිරවිකරණයකට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා..

මාර් 03, 2019

    “බලාත්මක කළ හැකි නීතිමය රාමු සම්මත කරමින් සහ නීතිමය අඩුපාඩු සකස් කරමින් පියවරින් පියවර ඉදිරියට යන පුළුල් නිරවිකරණයක් සදහා ශ්‍රි ලංකාව කැපවී සිටින බව‚ එක්සත් ජාතීන්ගේ නිරවිකරණ සමුළුව අමතමින් ජිනීවාහි ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත ඒ. එල්. ඒ. අසීස් මහතා ප්‍රකාශ කළේය.

    එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ ‘පොදු අනාගතය සුරක්ෂිත කිරීම: නිරවිකරණය සදහා න්‍යාය පත්‍රය’ තුල ඇති සමහරක් කරුණු කෙරෙහි පමණක් වරණීය ලෙස අවධානය යොමු කර අනෙකුත් කරුණු අතහැර දැමීම‚ පවත්නා අසමතුලිතතාවයන් සමනය කිරීමට වඩා ඒවා චිරස්ථායී කිරීමට හේතු වන බව‚ නිරවිකරණ සමුළුවේ ඉහළ මට්ටමේ සැසිය අමතමින් තානාපතිවරයා අනතුරු ඇඟවීය.

    මහ ලේකම්වරයාගේ මෙම ‘න්‍යාය පත්‍රය’ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරන බව ශ්‍රි ලංකාවේ අදහස වන අතර‚ එකී ‘න්‍යාය පත්‍රයේ’ සංකල්ප අනුව රටවල් ගණනාවක් විසින් බහුපාර්ශ්වික වැඩසටහන් හදුන්වා දීම දිරිගන්වන සුලු සාධකයක් වන අතරම‚ තවත් සමහරෙකු විසින් එය තමන්ගේ උපාය මාර්ගික ප්‍රමුඛතා මත පමණක් පදනම්ව අර්ථකථනය කිරීම කණගාටුදායක කරුණක් බවද‚ ඔහු පැවසීය.

    ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පිළිබද පවතින වත්මන් අස්ථාවර තත්වය සැලකිල්ලට ගනිමින්‚ නිරවිකරණ සමුළුව විසින්‚ සාරගර්භ සාකච්ඡා සදහා ඉවහල් වන සියලු මාර්ග පිළිබදව කඩිනමින් සලකා බැලීමේ අවශ්‍යතාය‚ සිය ප්‍රකාශයේදී තානාපති අසීස් මහතා අවධාරනය කළේය.

    “න්‍යෂ්ටික අවි භාවිතය සදහා ඇති හැකියාව‚ අනෙකුත් සමූල ඝාතන අවි හා සැසදීමේදී අඩු බවට වන අදහස‚ හුදු අදහසක්ම වන අතර‚ න්‍යෂ්ටික අවි භාවිතා නොකර සිටීම සදහා වන ප්‍රඥාව සහ හික්මීම නොවෙනස්ව පවතිතැයි න්‍යෂ්ටික නොවන රටවල් වලට ඇති විශ්වාසය ශ්‍රිඝ්‍රයෙන් බිඳ වැටෙමින් තිබෙන බවයි අපට පෙනී යන්නේ”‍.

    සමුළුවේ 40 වන සංවත්සරය ඇතුළු‚ නිරවිකරණයට අදාලව 2019 වසරේදි යෙදී ඇති විශේෂ සන්ධිස්ථාන සැලකිල්ලට ගනිමින්‚ ලංකාවේ සභාපතීත්වය යටතේ 2018 දී නිරවිකරණ සමුළුව විසින් අත්පත් කරගත් ප්‍රගතිය තවදුරටත් වර්ධනය කිරීම සදහා වන හොඳම අවස්ථාව මෙය බවද‚ ඔහු මෙහිදී සදහන් කළේය.

    නිරවිකරණ සමුළුවේ 2019 වසරේ මෙම ඉහළ මට්ටමේ සැසිය ඇමතූ ප්‍රභූන් අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් මහතා සහ සාමාජික රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන් රැසක් විය.

    Last modified on ඉරිදා, 03 මාර්තු 2019 10:47

    Latest News