විශ්වාසයෙන් හා කැපවීමෙන් වැඩ කර ප්‍රතිඵල පෙන්වමු ...ජනපති

මාර් 15, 2022

    මහ කන්නයේ දී කාබනික පොහොර නිවැරදි ලෙස භාවිතා කළ ගොවීන් ඉහළ අස්වැන්නක් ගෙන තිබේ.

    ඊට යොමු නොවූ ගොවීන් ද නිසි ලෙස දැනුවත් කර සිදු වූ අඩුපාඩු මගහරවා ගැනීමෙන් හරිත කෘෂිකර්මාන්තයක් සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ ජයගත හැකි බව දිස්ත්‍රික් ලේකම්වරු කියති.

    යල කන්නය සඳහා කාබනික පොහොර බෙදාහැරීමට ඇති සූදානම සම්බන්ධයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කෙරිණ.

    මහ කන්නයේ දී ලත් අත්දැකීම් පාදක කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකයින් 48දෙනෙකු තෝරාගෙන පොහොර බෙදාහැරීමේ කටයුතු සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙන්වා දෙනු ලැබීය.

    අනාගත දරු පරපුර වෙනුවෙන් වස විසෙන් තොර ආහාර වේලක් ලබාදීම අරමුණු කරගනිමින් හරිත කෘෂිකර්මාන්ත වැඩසටහන ඇරඹිණ. රසායනික පොහොර සහ වල්නාශකවලට හුරු වූ ගොවීන් කාබනික වගාවට යොමු කිරීම අභියෝගාත්මක කර්තව්‍යයකි. එහෙත් සියලුම මට්ටමේ නිලධාරීන් දැඩි උනන්දුවකින්, විශ්වාසයකින් හා කැපවීමෙන් වැඩ කර සාර්ථක ප්‍රතිඵල පෙන්විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරයි.

    ගොවීන් නිසි ලෙස දැනුවත් කිරීම, නිසි වේලාවට ප්‍රමිතියෙන් ඉහළ පොහොර ලබාදීම සිදුවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    පැවති ඇතැම් රජයන්ට කෘෂිකර්මාන්තය පිළිබඳ විශ්වාසයක් නොතිබිණ. පාරම්පරික කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව ඉන් ස්වයංපෝෂිත කර, ගොවියා ශක්තිමත් කිරීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිතුමා පැවසීය.

    කාබනික පොහොර නිෂ්පාදනයට සම්බන්ධ වී සිටින සියලු නිෂ්පාදන ආයතන දීර්ඝ කාලයක් පර්යේෂණ සිදුකර වගා කටයුතු සඳහා යොමුව සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන සිටි. ඔවුන්ගේ දැනුම හා ඉහළ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ගොවි ජනතාව අතට පත් කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත හැකි බව තමාට විශ්වාස යැයි ද ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබීය.

    සතියකට දෙවතාවක් දිසාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පොහොර කමිටුවට රැස්වීමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොහොර නිෂ්පාදකයින් සතුව විශාල වගකීමක් පවතින බව පැවසීය.

    දිස්ත්‍රික්ක රැසක ගොවීහු මහ කන්නයේ දී කාබනික පොහොර යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන ඇති බව පොහොර නිෂ්පාදන ආයතනවල පර්යේෂකයෝ ද පෙන්වා දුන්හ.

    ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු හා පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීහු, පොහොර නිෂ්පාදන ආයතන ප්‍රධානීහු ජනාධිපති කාර්යාලයට රැස් වූ අතර සියලුම දිස්ත්‍රික් ලේකම්වරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක් වූහ.

    Latest News