ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක්...

මාර් 17, 2022

    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට අද පස්වරුවේ අත්සන් තැබුණා.

    ඒ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාමන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් නව දිල්ලි නුවර පිහිටි ඉන්දීය මුදල් අමාත්‍යාංශයේදී. මෙම කෙටිකාලීන ණය පිරිනමන්නේ ඉන්දීය රාජ්‍ය බැංකුව හරහායි. ඉකුත් වසරේ දෙරට අතර ඇති කර ගැනුණු ගිවිසුම තවදුරටත් දීර්ඝ කරමින් මෙම ණය ආධාර පිරිණැමෙනවා.

    මෙරට ආහාර, ඖෂධ සහ සෙසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීම සඳහායි, ණය මුදල ලබාදෙන්නේ. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර ඉන්දීය රාජ්‍ය බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශ්‍රී පුෂ්කර් ජා මහතා ගිවිසුමට අත්සන් තැබුවා. ගිවිසුම අත්සන් තැබීමට පෙර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ඉන්දීය මුදල් හා විදේශ කටයුතු අමාත්‍යවරුන් අතර ද්වීපාර්ශවික සාකච්චාවක් ද පැවැත්වුණා.

    රටේ පවතින වත්මන් ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීමේ අරමුණින් දෙරට අතර කෙටි, මධ්‍ය හා දිගු කාලීන ආර්ථික සහයෝගීතා රාමුවක් සැකසීමට සාකච්ඡාවලදී එකඟත්වය පළවුණා. ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට ඉන්දීය රාජ්‍ය බැංකුව් කළමණාකාර අධ්‍යක්ෂ ශ්‍රී අශ්විනි තිවාරි, සාමාන්‍යාධිකාරී ශ්‍රී විනෝද් කුමර් සහ මෙරට නියෝජිතයන් වන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ, මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් නිලූකා කදුරුගමුව යන මහත්ම මහත්මීන් එක්ව සිටියා.

    Basil1 900px 22 03 16

     

    Latest News