පාසල් පෙළ පොත් 92% ක් බෙදා අවසන්

මාර් 24, 2022

    2022 වර්ෂය සඳහා පාසල් දරුවන් වෙත ලබා දීමට නියමිත පෙළ පොත්වලින් සියයට 92ක් බෙදා හැර අවසන් බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පී.එන්.අයිලප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

    කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව (22) සංවිධාන කළ ''ජාතික පාසල් දහසක්''වැඩසටහනේ ප්‍රගතිය හා අනාගත දරුපරපුරට හිමිවන ප්‍රතිලාභ මැයෙන් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

    පෙළ පොත් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 2338.5ක් වැය කර ඇත. ඒ හැර පෙළ පොත් දරුවන්ගේ අතට පත්වෙන තෙක් බෙදා හැරීම සඳහා ද රජය වියදම් කරයි. මුද්‍රණය කිරීමට නියමිත පෙළ පොත් ලබන පාසල් වාරය ආරම්භයට පෙර මුද්‍රණය කර දරුවන් වෙත ලබා දෙන බව පී.එන්. අයිලප්පෙරුම මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    මුද්‍රණ කටයුතු කඩිනම් කිරීම සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මේ වන විටත් මුද්‍රණ ආයතන සමග සාකච්ඡා කර තිබේ. මුද්‍රණාල වෙත ගොස් නිරීක්ෂණය ද කෙරේ. පෙළ පොත් මුද්‍රණය කඩිනම් කිරීමට අවශ්‍ය සහය ලැබී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

    Latest News