මත්ද්‍රව්‍ය විරෝධී නව පියවර ජනපති හෙළි කරයි (වීඩියෝ)

මාර් 06, 2019

    “මතට එරෙහිව රටම දිවුරුම් දෙන ‘බක්මහ දිවුරුම’ අප්‍රේල් 03 වනදා
    ඒ නිමිත්තෙන් පැවැත්වෙන කෙටි උත්සවයට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් ඇතුළු 225 ට ම ජනපතිගෙන් ආරාධනා
    මෙතෙක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම අප්‍රේල් 01 වනදා කටුනායක දී
    මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමට භාවිතා කරන අතිනවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට කඩිනමින්
    ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට කියයි.

    මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම මෙන්ම රටේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීමට සියලු පුරවැසියන් සිය හෘද සාක්ෂිය අනුවම කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    ඒ පිළිබඳ සිහිපත් කරමින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන බවට රටම එක්ව සිදුකරන දිවුරුම් දීමක් අප්‍රේල් 03 වනදා පෙ.ව 8.00ට ‘බක්මහ දිවුරුම’ නමින් සංවිධානය කර තිබේ. උදෑසන රැස්වීමේ දී සියලු පාසල් දරුවන් ඊට එක් කරගන්නා අතර, විශ්වවිද්‍යාල සිසුන්, ව්‍යවස්ථාපිත ආයතන, සංස්ථා ඇතුළු සියලු රාජ්‍ය නිලධාරින්, පෞද්ගලික අංශය ඇතුළු සියලුදෙනාට ඒ සඳහා විවෘත ආරාධනයක් සිදු කරන බව පැවසූ ජනාධිපතිතුමා අප්‍රේල් 03 වනදා උදෑසන 8.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයට පැමිණ එම දිවුරුමී දීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ පක්ෂ නායකයන්ට ආරාධනා කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථවේ දී ය. මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් මේ වන විට ගෙන යන වැඩසටහන්වල සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවයි.

    කිසිදු බලපෑමකින් තොරව එම කටයුතු කරගෙන යෑමට නිලධාරින්ට අවස්ථාව සැලසී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා මත්ද්‍රව්‍යවලට එරෙහි නීතිරීති ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට කිසිඳු බලපෑමක් අද සිදු නොවන බව ද සඳහන් කළේය. මේ අතර මෙතෙක් අත්අඩංගුවට ගත් සියලු නීතිවිරෝධි මත්ද්‍රව්‍ය විනාශ කිරීම අප්‍රේල් (01) වනදා විනිසුරුවරුන් සහ පොලිස් නිලධාරින් ඉදිරියේ දී කටුනායක දී සිදු කෙරෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    මේ අතර ජනාධිපතිතුමා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ නීති විරෝධි මත්ද්‍රව්‍ය හඳුනාගැනීම පිළිබඳ භාවිත කරන නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මේ වන විට මිල ගණන් කැඳවා තිබෙන බවත්, තවත් මාස කිහිපයකින් එම උපකරණ මෙරටට ලබා ගැනීමට හැකි වනු ඇති බවත්ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ගත් තීන්දුව ක්‍රියාත්මක කිරීම පිළිබඳ නැඟු ප්‍රශ්නයකට පිළිතුර දුන් ජනාධිපතිතුමා සඳහන් කළේ අනිවාර්යයෙන් ම එම තීන්දුව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවයි.

    ඊට විරෝධතා දක්වන කිසිවෙකු මත්ද්‍රව්‍ය උවදුරෙන් රටට සිදුවන විනාශය වළක්වා ගැනීමට සහය ලබා නොදෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා කවුරුන් විරුද්ධ වුව ද රටේත්, ජනතාවගේත් අනාගතය වෙනුවෙන් එම වගකීම ඉටුකරන බව අවධාරණය කළේය.

     

    Last modified on බදාදා, 06 මාර්තු 2019 20:11

    Latest News