ජපානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3ක ආධාරයක්...

ජූලි 02, 2022

    ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන ජපානය මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

    ජපාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්, ජපාන රජය දැඩි අවධානයකින් පසුවන බවයි. ඒ අනුව, ජපාන රජය ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන 3ක ආධාරය ශ්‍රී ලංකාවට ඖෂධ හා ආහාර ලබාගැනීම සඳහා යෙදවීමට අපේක්ෂිතයි.

    යුනිසෙෆ් සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහනේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය සිදුකෙරෙන බව ජපාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ජපාන දිගු කාලීන මිතුරෙකු වන ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා මගහරවා ගැනීමට මෙම ආධාරය, උපකාර වනු ඇති බවට විශ්වාසය පළ කරන බව නිවේදනයේ දැක්වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදුකරන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ද ජපාන රජය දැඩි අවධානයෙන් පසුවේ.

    එහිදී ශ්‍රී ලංකා රජය සහ අනෙක් සංවර්ධන හවුල්කරුවන් සමග සාකච්ඡා කර, මෙරටට ඒ සම්බන්ධයෙන් තව දුරටත් සිදුකළ හැකි දායකත්වය සලකා බැලීම ජපාන රජයේ අරමුණයි. ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයේ කාලානුරූපීව හවුල්කරුවා වන ජපානය මෙරටට සහය වෙමින් සිටින අතර, ශ්‍රී ලංකාවේ ජනතාව සහ රජය සමග එහි ප්‍රයත්නයෙන් ඒකාබද්ධ කිරිමෙහිලා සිය කාර්ය භාරය දිගටම සිදුකරගෙන යන බව ජපාන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    Latest News