පාර්ලිමේන්තුවේ නව සැසි වාරය හෙට

අගෝ 02, 2022

    පාර්ලිමේන්තුවේ නව සැසි වාරය හෙට ආරම්භ වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය පසුගිය 29 වැනිදා අවසන් කරීමට පියවර ගත්තා. ඊට අදාළ ගැසට් නිවේදනය ද එදිනම නිකුත් කෙරුණා.

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම සිදු කෙරෙනවා. මේ අනුව, 9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය අගෝස්තු මස තුන්වැනි දින පෙරවරු 10.30ට රැස් විය යුතු බව, එම ගැසට් නිවේදනයේ සඳහන්. මීට පෙර අවස්ථා ගණනාවකදීම විධායක ජනාධිපතිවරු පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබෙනවා.

    ඇතැම් ජනාධිපතිවරුන් තමන් ධුරකාලය දැරූ කාලසීමාවේ සෑම වසරක් ආසන්නයේදීම පාර්ලිමේන්තුවේ වාර අවසන් කළා. හිටපු ජනාධිපති ජේ ආර්  ජයවර්ධන මහතා අවස්ථා 7 කදී පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබෙනවා.                                                   

    රණසිංහ ප්‍රේමදාස මහතා, සිය ධුර කාලයේදී පාර්ලිමේන්තුවේ වාර අවසන් කර ඇති අවස්ථා ගණන 4 ක්. ඩී බී විජේතුංග මහතා ද තම කෙටි ධුර කාල සීමාව තුළ එක් අවස්ථාවකදී වාර අවසන් කළා.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, අවස්ථා 5 කදී පාර්ලිමේන්තුවේ වාර අවසන් කර ඇති අතර, මහින්ද රාජපක්ෂ මහතා, අවස්ථා 3 කදී එම බලතල ක්‍රියාත්මක කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය තුළ පාර්ලිමේන්තුවේ වාර අවසන් කර ඇති අවස්ථා ගණන 3 ක්. ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපති ධුරය හෙබවූ කාලසීමාව තුළ අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවේ වාර අවසන් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ වාර අවසන් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

    පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමත් සමග පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව ආදී කාරක සභා රැසක් අහෝසි වන අතර, ඒ සඳහා නව සාමාජිකයින් සහ සභාපතිවරුන් පත් කර ගැනීම ද නව සභාවාරයේදී සිදු කළ යුතුයි.

    Latest News