සිංහරාජ රක්ෂිතය හරහා මාර්ගයක් ඉදිනොකරන බවට ප්‍රතිඥාවක්

අගෝ 08, 2022

    ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හෙලි කර ඒ හරහා මාර්ග ඉදි කිරීමක් හෝ ජලාශයක් ඉදිකිරීමක් නොකරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නා.



    මෑතකදී සිංහරාජ රක්ෂිත වනාන්තර හෙළි කර එම කලාපය හරහා මාර්ගයක් හා ජලාශයක් ඉදිකිරීමට ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මෙම ප්‍රතිඥාව ලබාදුන්නා.

    මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙමින් කියා සිටියේ සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හරහා මංමාවත් ඉදිකිරීමක් නොකරන බවයි.

    ඊට අමතරව දැනට පවතින මාර්ග පුළුල් කිරීමක් නොකරන බවත් රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නා.

    එමෙන්ම ගිං ගඟ ජල යෝජනා ක්‍රමය යටතේ සංරක්ෂිත කලාපය තුළ ජලාශයක් ඉදිරි නොකරන බවටත් රජයේ නීතිඥවරිය ප්‍රතිඥාවක් ලබා දුන්නා.

    ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් ප්‍රතිඥාව සටහන් කර ගත් අභියාචනාධිකරණය පෙත්සම පිළිබඳ වැඩිදුර සලකා බැලීම සැප්තැම්බර් මස 08 වනදා සිදු කිරීමට ද නියම කළා.

    පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හරහා මාර්ගයක් හා විශාල ජලාශයක් ඉදිකිරීමට රජය සැලසුම් සකස් කරමින් සිටින බවයි.

    එවැනි ක්‍රියාවක් සිදුකළ හොත් ඒ තුළින් සංරක්ෂිත වනාන්තර කලාපයට මෙන්ම ජෛව පරිසර පද්ධතියට ද විශාල හානියක් සිදුවිය හැකි බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

    එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙස පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා

    Last modified on සදුදා, 08 අගෝස්තු 2022 14:26

    Latest News