හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ

අගෝ 17, 2022

    දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වන විට ඉවත් කිරීමට හැකි වනු ඇති බවට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කරනවා. මේ වන විට රට ස්ථාවර මට්ටමක තිබෙන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, ඒ අනුව, හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද පෙන්වා දෙනවා. 

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ ඊයේ පස්වරුවේ පැවති 'විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනය 2022' සම්මාන උළෙල අමතමින්. අද වන විට රට ගොඩනැගීම සඳහා පියවර රැසක් ගනිමින් පවතින බවත්, ඒ වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහය අවශ්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

    ඊට අමතරව, ඩයස්පෝරාවේ සහය ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් මෙරට පිහිටුවීමට රජයේ අවධානය යොමුව ඇතැයි ද සඳහන් කෙරුණා. කථානායක මහින්ද යාපා අබේවර්ධන, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාපක්ෂ, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සභාපති දුලිත පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. 

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා...


    "අපි අනාගතයට මුහුණ දෙන්නේ කොහොමද. රටේ තත්වය සාමාන්‍යයයි. මම තවදුරටත් හදිසි නීතිය දීර්ඝ කරන්නේ නෑ. මේ සතිය අවසානය වන විට හදිසි නීතිය ඉවත් කරනවා. එයින් පැහැදිලි වන්නේ, ස්ථාවරත්වය ළඟා වී ඇති බවයි. එපමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි අපට තියෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද? අපි ඉදිරියට යන්නේ කොහොමද? අපිට 2019ට හෝ 2020ට ආපහු යන්න බැහැ. විශාල පරිවර්තනයක් අවශ්‍යයි. ආකල්පමය වෙනසක් සිදු විය යුතුයි. අපි එහෙම කළොත්, මේ රටට අනාගතයක් තියෙයි.

    එහෙම නොවුනහොත් අපි තවත් ලෙබනනයක් බවට පත්වෙයි. අපි කැමති වුනත්, නැතත්, විසදුම්වල තෝරා ගැනීමක් නැහැ. අප පැමිණි මග අනුව පෙනී යන්නේ, අපට ඉදිරියට යාම ඇත්තේ එක මගයක් පමණක් බවයි."

    Latest News