ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානීගෙන්, නිලධාරීන්ට උපදෙස්...

සැප් 02, 2022

    රට තුළ ඉන්ධන, ගෑස් සහ වී ක්‍ෂේත්‍රයන්හි ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී හා ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා නිලධාරීන් වෙත උපදෙස් දුන්නා.

    ඒ, ඔවුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී. ඉන්ධන මිලදී ගැනීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මතුව  ඇති ගැටලු පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් සමග සාකච්ඡා කෙරුණා. සාගල රත්නායක මහතා, මෙහිදී උපදෙස් දුන්නේ, ඉන්ධන අර්බුදයෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලුවලට කඩිනමින් සහන සලසන ලෙසයි.  භූමිතෙල් සම්බන්ධ ගැටලුවට වැඩි අවධානයක් යොමු කෙරුණු අතර, එය විසඳීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙසද නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබුවා.

    සහල් මිල ඉහළ යාම හා ‍වී ගොවියාට සහතික මිලක් ලබා දීම සහ අස්වනු මිලදී ගැනීමේ දී වී අලෙවි මණ්ඩලය මුහුණ පා සිටින ගැටලු පිළිබඳව,  වී අලෙවි මණ්ඩලයේ නිලධාරින් හා රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග සාකච්ඡා කෙරුණා. වී මිලදී  ගැනීම් කඩිනම් කරන ලෙසත්, වී ගබඩා පහසුකම් වැඩිදියුණු කරන ලෙසත්, සාගල රත්නායක මහතා, නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.  දැනට පවතින ගෑස් අර්බුදය පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, ගෑස් මිලදී ගැනීම, ගෙන්වීම හා බෙදා හැරීම සම්බන්ධ‍යෙන් පවතින ගැටලු කඩිනමින් නිරාකරණයට ද අවශ්‍ය පියවර ගැනුණා.

    අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු  මන්ත්‍රි නිමල් ලංසා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක්  සාකච්ඡාවට එක්ව සිටියා.

    Latest News