නෙළුම් කුලුනේ පළමු දින ආදායම ලක්ෂ 21ක්

සැප් 17, 2022

    දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන නෙළුම් කුලුන මහජනතාවට විවෘත කිරීමෙන් පසු පළමු දින තුළ පමණක් උපයා ඇති ආදායම රුපියල් ලක්ෂ 21කට ආසන්නයි.

    ප්‍රවේශපත් අලෙවියෙන් පමණක් නොව නෙළුම් කුලුනේ පිහිටි එක් එක් ආයතන සඳහා සේවා සැපයීමෙන් මේ ආදායම උපයා ගැනීමට සමත්ව තිබේ.

    පසුගිය (15) දිනයේදී පමණක් මෙය නැරඹීම සඳහා පුද්ගලයන් 2,612 දෙනක් පැමිණ තිබෙන බවද නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි. ඒ අතර විදෙස් සංචාරකයින් 21 දෙනෙක් ‍ද වෙයි.

    සතියේ දිනවල පස්වරු 2.00 සිට රාත්‍රි 10.00 දක්වා නරඹන්නන් වෙනුවෙන් නෙළුම් කුලුන විවෘතව තැබේ.

    එය මහජනතාවට විවෘත කළ දෙවැනි දිනය වූ ඊයේ (16) මුල් පැය තුනේදී පුද්ගලයන් 800 දෙනකු පමණ නැරඹීමට පැමිණි බව ද ඔහු පෙන්වා දෙයි.

    දේශීය නරඹන්නන්ට පමණක් නොව විදෙස් සංචාරකයන් වෙනුවෙන්ද මෙම ස්ථානය විවෘතයි.

    වර්ග මීටර් 30,600ක් වූ වපසරියක ඉදි කර ඇති නෙළුම් කුලුනේ උස මීටර් 350කි. ප්‍රවේශ පත්‍රයක් රැගෙන පැමිණෙන අයෙකුට විනාඩි 30ක් 7 වැනි මහලේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙන ඇති.

    නෙළුම් කුලුනේ දෙවැනි අදියර ඉදිරි මාස දෙක තුළත්, තුන්වැනි අදියර ලබන වසරේ මාර්තු මාසය වන විටත් විවෘත කිරීමට කොළඹ නෙළුම් කුලුන පෞද්ගලික සමාගම අපේක්ෂා කරයි.

    Latest News