75 වැනි නිදහස් සමරුවට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි, ජනාධිපතිගෙන් උපදෙස්

ඔක් 13, 2022

    ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වැනි නිදහස් සමරුව අභිමානයෙන් සැමරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    "එක්ව නැගිටිමු" තේමාවෙන් ලබන පෙබරවාරි 4 වැනි දින 75 වැනි නිදහස් සමරු උලෙළ පැවැත්වෙන්නේ, ගාලුමුවදොර පිටියේ දී.

    එහි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී,  ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

    නිදහස් දින සමරු උලෙළට සමගාමීව විවිධ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා‍. පාපැදි සවාරිය, පාසල් දරුදැරියන් සදහා වූ තරගාවලිය, ඓතිහාසික හා දුර්ලභ පොත් ප්‍රදර්ශනය එහි ප්‍රධාන අංග අතරට ඇතුළත්. නිදහස් සමරුව නිමිත්තෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් , අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2000 ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද නියමිතයි. පෙරවරි 4 , 5 දෙදින ජනතාවට ජාතික උද්‍යාන නොමිලයේ නැරඹීමට අවස්ථාව හිමි වනවා. 75 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව මුද්දරයක් ද නිකුත් කිරීමට නියමිතයි.

    නිදහස් සමරු උත්සවයේ සංවිධාන කමිටුව අනු කමිටු 10 කින් සමන්විත වන අතර, නිදහස් දින උලෙළ  නැරඹීම සඳහා ජනතාවට විවෘත ආරාධනයක් සිදු කෙරෙනවා.  මේ හා සමගාමීව දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් කාර්යාල මූලික කර ගනිමින් විවිධ සංස්කෘතික, ආගමික හා සමාජයීය වැඩසටහන් සංවිධාන කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

    හොඳම ගෙවතු වගාව, හොඳම ග්‍රාමීය පුනර්ජීවන කේන්ද්‍රය, හොඳම රැක්රෝපණ වැඩසටහන් ආදී වශයෙන් ග්‍රාමීය වැඩසටහන් රැසක් ද, පැවැත්වීමටයි, සැලසුම් කර ඇත්තේ.

    අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  සහ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුද, එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන, ජාතික ආරක්‍ෂාව  පිළිබද ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගර රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්‍ෂක ‍අමාත්‍යාංශ‍යේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුද ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් ද මේ සාකච්ඡාවට එක්ව සිටියා.

    Latest News