නාගරික පුනර්ජීවනයට විශාල ආයෝජන මුදලක්

මාර් 19, 2019

    නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ නිවාස ඒකක 5,000ක ඉදිකිරීම් මේ වසරේ ආරම්භ කිරීමට මෙවර අය-වැයෙන් ‍යෝජනා කර තිබේ.

    මීට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 8,000ක්. මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව 8,000කට අධිකයි. තවත් නිවාස 7,500කට වැඩි සංඛ්‍යාවක් ඉදි කෙරෙමින් පවතී.

    ගංවතුර හා ජලාපවාහන කළමනාකරණය යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැයෙන් වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන දස දහස් නවසියයක්. ඒ යටතේ ක්‍රියාත්මක කොළඹ ජල ද්‍රෝණියේ ජලය බැසයාමේ ධාරිතාව වැඩි කිරීම, බේරේ වැව හා බැද්දගාන උද්‍යාන සහ වේරැස් ගඟ ව්‍යාපෘති මගින් මහ කොළඹ ප්‍රදේශයේ ජල ගැලීම් අවම කිරීමට හැකිවනු ඇති.

    එමෙන්ම රුපියල් මිලියන 800ක වියදමින් බේරේ වැව පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට නිම කිරීමට ද අපේක්‍ෂිතයි. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ආයෝජන ව්‍යාපෘති ගාල්ල, මහනුවර සහ යාපනය යන නගර දක්වා ව්‍යාප්ත කිරීම ද මෙවර අය-වැයෙන් ක්‍රියාත්මකයි. තෝරාගත් ප්‍රදේශවල ප්‍රවාහන තදබදය කළමනාකරණය, කානු පද්ධති පුනරුත්ථාපනය, නාගරික පහසුකම් වැඩිදියුණු කිරීම, පෞරාණික ගොඩනැගිලි පිළිසකර කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ඒ යටතේ ක්‍රියාත්මක කෙරේ. ඊට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 9,225ක්.

    අරුවක්කාලු සනීපාරක්‍ෂක කසල රඳවන ව්‍යාපෘතිය සඳහා මේ වසරේ වැය කරන මුදල රුපියල් මිලියන 7,600ක්. එය ක්‍රියාවට නැංවීමත් සමඟ කොළඹ නගරයේ ප්‍රධාන ගැටලුවක් වූ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට විධිමත් විසඳුමක් ලැබේ.

    ඉදිරි වසර දෙක තුළදී පෞරාණික ගොඩනැගිලක් වන බෝගම්බර සිරගෙදර පොදු ස්ථානයක් බවට පත්කොට සංවර්ධනය කෙරේ. ඊට මේ වසර සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 750ක්. එමෙන්ම ගම්මාන දහසක් ආවරණය වන පරිදි ප්‍රජා ජල අබිමන් වැඩසටහන ක්‍රියාත්මක කිරීම, ඒකාබද්ධ ආයෝජන ප්‍රවේශයක් ඔස්සේ ප්‍රවාහන පද්ධතිය ගොඩනැගීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට මෙවර අය-වැයෙන් යෝජනා කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 20:21

    Latest News