මහඉලුප්පපල්ලම ළමයෙකුට දෙමු

නොවැ 20, 2022

    අනුරාධපුර - මහඉලුප්පල්ලම පිහිටි රජයේ ක්‍ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ඇතුළු කෘෂි සංකීර්ණය මේ වන විට මහජන මුදල් කාබාසිනියා කරන  ආයතනයක් බවට පත්ව ඇති බව ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරනවා. 

    එම කෘෂි සංකීර්ණයේ ඊයේ  නිරීක්ෂණයකට එක්වෙමින් ඔවුන් මේ චෝදනා එල්ල කළා. 

    අනුරාධපුර මහඉලුප්පල්ලම පිහිටි රජයේ ක්‍ෂේත්‍ර බෝග ප‍ර්යේෂණ හා සංවර්ධන ආයතනය ඇතුලු මෙම කෘෂි සංකීර්ණය අක්කර 800ක භූමි ප්‍රමාණයකින් සමන්විතයි.  මෙහි ක්‍ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය, ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි කර්ම පීඨයේ උප ඒකකයක්, බීජ සහ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන ගොවිපලක්,  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ උප කාර්යාලයක් ඇතුලු ක්‍ෂේත්‍ර රැසකින් සමන්විතයි.  කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම කෘෂි සංකීර්ණය මේ වන විට වල්බිහිවීමට ඉඩහැර ඇති බවටයි, ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරන්නේ. 

    මෙහිදී ඔවුන් ගොවිපල භූමිය, සත්ව පාලන අංශය ඇතුලු ස්ථාන රැසක් නිරීක්ෂණය කළ අතර,  ඊට ගොවිපලේ ආරක්ෂක නිලධාරින්ගෙන් විරෝධයක් එල්ල වුණා.  ඒ,  ඡායාරූප හා වීඩියෝගත කිරීමෙන් වලකින ලෙසයි.

    අනතුරුව ගොවිපල කළමණාකරු දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනීමට ජාතික ගොවිජන එකමුතුවේ නිලධාරින් සමත්වුණා.  එහිදී  ගොවිපල කළමණාකරු කියා සිටියේ, ආයතනයේ ප්‍රධානියාගෙන් අවසර ගෙන මෙම කෘෂි සංකීර්ණය නැරඹීමට පැමිණෙන ලෙසයි.  

    ගොවිපල භූමිය නිරීක්ෂණය කරනවිට එහි වැටවල් අලින් විසින් කඩා ඇති අයුරු මෙන්ම ඵල නොදැරූ පොල්, අඹ වැනි ගස් වර්ග මෙන්ම කැලෑවට යටවූ වගා බිම් ආදිය මෙන්ම ප්‍රතිසංස්කරණය නොකළ ගොඩනැගිලි වැනි දේ බොහොමයක් මෙලෙස කැමරා කාචයට හසුවුණා. 

    මේ පිළිබඳව අප කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් විමසීමක් කළා.  ඔවුන් කියා සිටියේ මේ වන විටත් විවිධ බෝග වර්ග රැසක් මහ ඉලුප්පල්ලම ක්‍ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය තුළ සිදුකෙරෙමින් පවතින බවයි.  සාමාන්‍යයෙන් වගා හා පර්යේෂණ කළ භූමි අතහැර දමා තිබීම තවත්  ක්‍රමවේදයක් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය අප වෙත සඳහන් කළා. 

    Last modified on ඉරිදා, 20 නොවැම්බර් 2022 15:45

    Latest News