බාලදක්ෂ ප්‍රධාන අනුශාසක ධූරය ජනපතිට

නොවැ 21, 2022

    2024 වන වසර වන විට පළාත් 09යම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    එහි සාමාජිකත්වය ලක්ෂ 2 දක්වා ඉහළ නංවා ගැනීමට අවශ්‍ය සහය ලබාදෙන බවයි, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති උත්සවකදී ජනාධිපතිවරයා කියා සිටියේ.

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධූරය ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් ප්‍රදානය කිරීම සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් මෙම උත්සවය සංවිධාන කරනු ලැබුවා. නිල කර ලේන්සුව හා ප්‍රධාන බාලදක්ෂ පදවියට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවේ බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතායි. 

    බාලදක්ෂ ව්‍යාපාරයේ වර්තමාන ප්‍රගතිය පිළබඳ වාර්තාවක් ද ජනාධිපතිවරයා වෙත බාරදීමට පියවර ගැණුනා.  ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියේ, 75 වැනි නිදහස් සැමරුම සඳහා බාලදක්ෂ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

    ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන පරිසරය හා සම්බන්ධ වැඩසටහන්වලට එක්වන ලෙස ද ජනාධිපතිවරයා බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජික සාමජිකාවන්ට ආරාධනා කළා.

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට අනුබද්ධ හෝමාගම දිසා ශාඛාවේ 60වන සංවත්සරය වෙනුවෙන් වු සමරු පදක්කම පෝතක බාලදක්ෂිකා තිතුලු කත්යා දැරිය විසින් ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබුවා. ඊට අදාළ සමරු කලාපයද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News