අමරසිරි කලංසූරිය මහතාගේ අවසන් කටයුතු අද

අප්‍රේ 03, 2023

    අභාවප්‍රාප්ත අමරසිරි කලංසූරිය මහතාගේ දේහය අදාහන කටයුතු අද (3) පස්වරු 4.00ට බොරැල්ල සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි. මේ වන විට දේහය, බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ.

    සම්මානනීය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පි අමරසිරි කලංසූරිය මහතා 83 වසක් ආයු වලඳා, පෙරේදා (1) පෙරවරුවේ තම නිවෙසේ දී අභාවප්ප්‍රාප්ත විය.

    1940 සැප්තැම්බර් 20 දින මහනුවර බහිරව කන්ද ප්‍රදේශයේදී උපත ලද ඒ මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. 1969 වර්ෂයේදී ‘රැයක් දවාලක්‘ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු ‘අහස් ගව්ව‘ චිත්‍රපටයෙන් ජනප්‍රියත්වයට පත් විය.

    හන්තානේ කතාව, අපේක්ෂා, පරිත්‍යාගය, පූජා, පොඩි විජේ, යස ඉසුරු, අහස් මාලිගා, රැජින, අනූපමා, පෙම්රජ දහන ආදි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ හෙතෙම සරසවිය, ජනාධිපති, සුමති ටෙලි සම්මාන, සිග්නීස් සම්මාන උලෙළවලදී සම්මානයෙන් පිදුම් ලැබීය.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රාසංගික ටෙලි නාට්‍යය වන ‘දිමුතු මුතුහි‘ ප්‍රධාන චරිතය රඟ පෑ ඔහු මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය නළුවාද වෙයි.

    මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අමරසිරි කලංසූරිය මහතාගේ දේහය අදාහන කටයුතු සඳහා අද (3) පස්වරු 4.00ට බොරැල්ල කතත්තට රැගෙන යෑමට නියමිතයි.

    Latest News