දේවගැති ජෙරම්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජූලි 28ට කල් යයි

ජූනි 05, 2023

    තමාව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ජූලි මස 28 වැනිදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    පෙත්සම, අද කැඳවනු ලැබුවේ, ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් කරුණු දක්වනු ලැබුවා. ඔහු කියා සිටියේ, මීට පෙර පෙත්සම්කාර දේවගැතිවරයා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවයි. එම මූලික අයිතිවාසිකම් පෙත්සම, ඉකුත් 24 වැනිදා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර දේවගැතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන සිදු කරන බවට නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන් බව, ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

    එසේ තිබියදී තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර දේව ගැතිවරයා පෙත්සමක් ඉදිරිපත් කිරීම විමර්ශන කටයුතුවලට බාධාවක් බවත්, එම පෙත්සම සලකා බැලීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත්, ජනාධිපති නීතිඥවරයා පැවසුවා. පෙත්සම්කාර දේවගැතිවරයාගේ, ආධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ඌබට් ඒන්ජල් නමැත්තාට රන් ජාවාරම් මෙන්ම, මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවට වාර්තා පළ වී ඇති බවත්, ඔහු සිය නීතිවිරෝධී කටයුතු රටවල් 14 ක පමණ ව්‍යාප්ත කර තිබෙන බවත්, ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

    එසේම, මෙම ඌබට් ඒන්ජල් නමැත්තා ශ්‍රී ලංකාවට ද පැමිණ ඇති බවත්, පෙත්සම්කාර දේවගැතිවරයාගේ මිරකල් ඩ්රෝනම් නමැති යාඥා මධ්යාස්ථානය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 3.3 කට වැඩි මුදලක් වැය කර තිබෙන බව සඳහන් කර තිබෙන ජනාධිපති නීතිවරයා මෙවැනි විශාල මුදලක් මෙම කටයුතු සඳහා යොදවනු ලැබුවේ කෙසේ ද යන්න විමර්ශන සිදු කළ යුතු බවත් පැවසුවා. අනතුරුව, පෙත්සම්කාර ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ජූලි 28 වැනිදා කැඳවන ලෙසයි, අධිකරණය නිවේදනය කළේ.

    Latest News