ආසියා ශාන්තිකර විකාශන සම්මාන උළෙලේ දී - ජාතික රූපවාහිනියට විශිෂ්ටතා සම්මානයක්

ජූනි 18, 2023

    2023 ආසියා ශාන්තිකර විකාශන සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විශිෂ්ටතා සම්මානයකින් පිදුම් ලැබුවා. සම්මාන උළෙල පැවැත්වුණේ, සිංගප්පූරුවේදී.

    ආසියා ශාන්තිකර කලාපයේ රටවල රූපවාහිනී කර්මාන්තයේ යෙදී සිටින ආයතන ඉකුත් වසරේ ක්‍රියාත්මකකළ රූපවාහිනී තාක්ෂණ පසුබිම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති පදනම් කරගනිමින් ආසියා ශාන්තිකර විකාශන සම්මාන උළෙල සඳහා නාම‍ යෝජනා කැඳවනු ලැබුවා.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉකුත් වසරේදී මැදිරි, බාහිර විකාශන රථ සහ විකාශන පද්ධති HD තාක්ෂණයට අනුගත කර ප්‍රකාශ තන්තු‍ කේබල් සහ, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ජාතික නාලිකාවේ වැඩසටහන් තාක්ෂණිකව ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව නැරඹීමට අවස්ථාව උදාකළා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු) කපිල දසනායක මහතාගේ අධීක්ෂණය යටතේ ඉංජිනේරු අංශයේ නියමු ව්‍යපෘතියක් ලෙසයි එය ක්‍රියාත්මක කෙරුනේ.

    මෙම ඉංජිනේරු විශිෂ්ටතා සම්මානය රූපවාහිනී සංස්ථාවට පිරිනැමීම සඳහා සම්මාන උළෙලේ ජූරිය විසින් තීරණය කර තිබුණේ රූපවාහිනී සංස්ථාවේ ඉංජිනේරු කාර්ය මණ්ඩලයේ තාක්ෂණික දැනුම සහ කැපවීම මත අමතර පිරිවැයකින් තොරව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම සැලකිල්ලට ගනිමින්.

    සම්මාන උළෙල සඳහා කාණ්ඩ 05ක් යටතේ නාමයෝජනා කැඳවීම සිදුකෙරුණා.

    කේබල් සහ චන්ද්‍රිකා කාණ්ඩයෙන් ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 07ක් අතුරින් මෙම ඉංජිනේරු විශිෂ්ටතා සම්මානය ශ්‍රී ලංකාවට හිමිකරගැනීමට හැකිවීම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණයක්.

     

    Last modified on ඉරිදා, 18 ජූනි 2023 11:32

    Latest News