මිරිජ්ජවිල තෙල් පිරිපහදුව මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්‍ෂයක්;නලින් බණ්ඩාර

මාර් 26, 2019

    හම්බන්තොට කේන්ද්‍ර කර ගනිමින් ඉඳි කෙරෙන මිරිජ්ජවිල තෙල් පිරිපහදු මධ්‍යස්ථානය සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව මෙරට ආර්ථික ප්‍රගමනයේ හැරවුම් ලක්‍ෂයක් වනු ඇති බව, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

    කොළඹ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේය.

    එහිදී අදහස් පළ කළ නලින් බණ්ඩාර මහතා...

    “2018 වසරේ ඩොලර් බිලියන 17ක් විතර පමණ අපේ අපනයනයන් තිබුණේ. 40%කට ආසන්න වර්ධනයක් තිබුණා. තෙල් පිරිපහදුවේ කටයුතු අවුරුදු තුන හමාරෙන් අවසන් වුණාට පස්සේ අපේ අපනයනයන් සඳහා තවත් ඩොලර් බිලියන 7ක අපනයනයක් එකතු වෙනවා. මේ තෙල් පිරිපහදුව තුළින්. මහා ලොකු බොරුවක් තමයි රජය නිර්මාණය කරලා තියෙන්නේ, ඡන්දයක් බලාගෙන බොරු ගොතනවා, බොරු මවනවා කිව්වා.

    ඕමාන් රජයේ ඛනිජ තෙල් සහ වායු පිළිබඳ අමාත්‍ය ආචාර්ය මොහොමඩ් අමාන් මහතා ආවට පස්සේ මේගොල්ලන්ගේ කටවල් වැහිලා තියෙනවා. ඒත් සමහර වාචාලයෝ කියලා තිබුණා මේ හයර් එකට ද කුලියට ද ගෙනාවේ කියලා මේ ඇමතිවරයා. කුලියට වැඩ කරන ඇමතිවරු ලංකාවේ ඉන්න ඇති ඒගොල්ලන්ගේ බලය කාලේ. ඒත් ඕමාන් රජය වගේ ඒ රටවල එහෙම ඇමතිවරු නැහැ. කුලියට කහින අය නම් ඉන්නවා මේ විපක්‍ෂයේ කුලියට වැඩ කරන ඇමතිවරු 2015ට කලින් ඉන්න ඇති වෙනත් රටවල අපි දන්නා තරමින් එහෙම ඇමතිවරු නැහැ.

    තෙල් පිරිපහදුව තුළින් 4500ක් පමණ සෘජු හා වක්‍ර රැකියා නිර්මාණය වෙනවා. අපි 1968 සිට මේ දක්වා සමස්ත සෘජු විදේශ ආයෝජන තියෙන්නේ ඩොලර් බිලියන 17.5යි. ඒකට අමතරව ඩොලර් බිලියන 3.85ක් එකතු වෙනවා කියන්නේ මේ කෙටි කාලයක් ඇතුළත විශාල වර්ධනයක් අපේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්‍ෂයක් විධියට හඳුන්වන්න පුලුවන් මේ දැවැන්ත ආයෝජනයක්“ යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පැවසීය

    Latest News