ඔස්ට්‍රේලියා නෞකා 4ක් ඉන්දීය සාගරයේ පොදු ආරක්‍ෂක අභ්‍යාසයක

මාර් 27, 2019

    ශ්‍රී ලංකාවේදී මේ දිනවල පැවැත්වෙන ඉන්දු පැසිෆික් සහයෝගිතා 2019 අභ්‍යාසය ඊයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගේ නිරීක්‍ෂණයට ලක්වූහ.

    අභ්‍යාසය සිදු කෙරෙන්නේ ඔස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකා 4ක සහභාගිත්වයෙන්. කොළඹ වරායට පසුගියදා සේන්දු වූ එච්.එම්.ඒ.එස්. කැන්බරා නෞකාව මූලික කර ගනිමින් සිදු කෙරෙන අභ්‍යාසය ඊයේ ක්‍රියාත්මක කෙරුණේ තුන්වැනි දිනටයි. එය සංවිධාන කර ඇත්තේ ඉන්දීය සාගර කලාපයේ පොදු ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණෙන්.

    ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, වියට්නාමය ඇතුළු රටවල් කිහිපයක් සමඟ අභ්‍යාසය පැවැත්වීමට ඔස්ට්‍රේලියානු කාර්ය සාධක බලකාය පියවර ගෙන තිබේ. කොළඹ දී සහ ත්‍රිකුණාමලයේ දී පැවැත්වෙන අභ්‍යාස සඳහා එරට ඒකාබද්ධ කාර්ය සාධක බලකායට අයත් දහසකට අධික ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් එක්ව සිටී. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අභ්‍යාසය නිරීක්‍ෂණය සඳහා ඊයේ කැන්බරා නෞකාව වෙත පැමිණියේය.

    ජලයේ හා ගොඩබිම ධාවනය කළ හැකි යාත්‍රා සහ ජලයේ සිට ඕනෑම ගොඩබිමක් වෙත සෙබළුන් හා භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි නවීනතම යාත්‍රාවල හැකියාව මෙහිදී ප්‍රදර්ශනය කෙරිණ. මෙවැනි යාත්‍රා 4ක් කැන්බරා නෞකාව සතුයි. මේ සියළු අභ්‍යාස හා නෞකාවේ පහසුකම් ත්‍රිවිධ හමුදාවේ කණිෂ්ඨ නිලධාරීන්ට මෙන්ම සෙසු නිලයන්ට ද අධ්‍යයනය කිරීමේ අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්.

    හෙලිකොප්ටර් ප්‍රවාහන නෞකාවක් වන මෙමඟින් හෙලිකොප්ටර් මෙහෙයුම් හුවමාරු ක්‍රියාකාරකම් රැසක් ද ප්‍රදර්ශනය කෙරිණ. හමුදා ප්‍රධානීන් ඇතුළු සියලු නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කරගනු ලැබිණ. ඇඳන් 56ක්, ශල්‍යාගාර 2ක්, ඇතුළු නවීන පහසුකම් සහිත රෝහලක් ද නෞකාව සතුයි.

    හදිසි අවස්ථාවන්හිදී විපතට පත් පුද්ගලයන්ට ක්ෂණික ප්‍රතිකාර ලබාදීමේ හැකියාව මෙය සතුවේ. සාගරික ආරක්‍ෂාව, විපතට පත්වූවන් මුදාගැනීම සහ ආපදා සහන මෙහෙයුම් ආශ්‍රිත ක්‍රියාකාරකම් මේ අභ්‍යාසයේ දී අත්හදා බැලෙන අතර මෙවැනි නවීන තාක්‍ෂණය යොදා ගන්නා අභ්‍යාසයක් නිරීක්‍ෂණය කිරීම වැදගත් බව ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ පවසයි. මෙම අභ්‍යාසය නිමාවීමෙන් පසු නෞකාවල මීළඟ ගමනාන්තය වන්නේ ඉන්දියාවයි.

    Latest News