නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස්

නොවැ 02, 2023

    නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

     
    විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ නීතිඥවරු විසින් කරනු ලැබූ ඉල්ලීමක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
     
    ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියම කළා.
     
    තීරණය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුව විභාගයේදී පැමිණිල්ලේ සාක්ෂි කරුවන් විසින් ඉදිරිපත් කළ සාක්ෂි විශ්වාසනීයත්වයෙන් තොර බව සඳහන් කළා.
     
    අධිකරණය විසින්  සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවාද යන කරුණ පමණක් බවත්  විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියා.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම තුළින්   මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News