ඩෙංගු ආයෙත් හිස ඔසවයිද ?

මැයි 21, 2024
    පවතින වර්ෂාව නිසා ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව නැවත වැඩි වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
    මේ වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 23,931ක් වාර්තා වී ඇති අතර ඩෙංගු ආසාදිත මරණ 9ක් වාර්තා වී ඇති බව එම ඒකකය පවසනවා.
    මැයි මාසයේ මේ දක්වා ඩෙංගු ආසාදිතයන් 1658ක් වාර්තා වී ඇති අතර පසුගිය කාලයේදී ආසාදිතයන්ගේ වාර්තා වීම අවම වී තිබූ බව ද එම ඒකකය ප්‍රකාශ කරනවා. බස්නාහිර පළාතෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 35.9ක් බවට සඳහන්ය.
    දැනට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගෙන් 5114ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද 2232ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද 1253ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී තිබෙනවා.
    ඩෙංගු අධි අවදානම් කලාප 8ක් වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නාගරික බලප්‍රදේශය, රත්මලාන, මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර නාගරික කලාපය, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කිරිඇල්ල, කුරුවිට, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත යනාදිය අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
    කිසියම් පුද්ගලයකුට දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් ඩෙංගු බවට සැක කර සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමට යොමු විය යුතු බව වෛද්‍යවරු ජනතාවට දැනුම් දෙනවා.

    Latest News