ශිෂ්‍යත්ව විභාගයේ පෙත්සම් සලකා බැලීමට දිනදෙයි

ඔක් 24, 2024
    ඉකුත්දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ඒවා නොවැම්බර් මස 05 වනදාට පෙර ගොනුකරන ලෙස වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරුවරයා ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා නොවැම්බර් මස 12 වනදාට පෙර ගොනුකරන ලෙසත් නියෝග කළා.
    ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා
    අදාළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
    එහි වග උත්තර කරුවන් ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා, අධ්‍යාපන ඇමතිනි ආචාර්ය හරිනි අමරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
    පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත්දා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධිය හේතුවෙන් එම විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවයි.
    ඊට පිළියමක් ලෙස කලින් පිට වූ බව කියන ප්‍රශ්න 03 සඳහා අදාල විභාගයට පෙනී සිටි සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට බලධාරීන් විසින් තීරණයක් ගෙන තිබෙන බවත් ඒ තුළින් අදාල විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන්ට අගතියක් සිදුවිය හැකි බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.
    මෙම ක්‍රියාව තුළින් කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඔවුන් අධිකරණයෙන් අයැද සිටිනවා.
    ඊට අමතරව කලින් පිට වූ බව කියන ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් 05 වසර ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටිනවා.
    #SLRC #RupavahiniNews #Rupavahini

    Latest News