රාත්‍රී කාලයේ රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ට උපදෙස් මාලාවක්

දෙසැ 26, 2024
    රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.

    රථවාහන රාජකාරි නිලධාරීන් රාත්‍රී කාලයේ රථවාහන නැවැත්වීමට සංඥා කිරීමේදී බොහෝ අවස්ථාවල විවිධ ආකාරයේ විදුලි පන්දම් භාවිතා කිරීම තුළින් එම විදුලි පන්දම් ආලෝකය රියදුරන්ගේ මුහුණට වැදීම හේතුවෙන්, ඇතැම් අවස්ථාවල රථය හැසිරවීමට සහ පාලනය කිරීමට ඇති වන අපහසුතාවය පිළිබඳව තොරතුරු ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

    අදාළ රථවාහන නිලධාරියා රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු අතර, රථවාහන නැවැත්වීම සඳහා මේ වන විට පොලිස් ස්ථාන වෙත නිකුත්කර ඇති රතු විදුලි පන්දම් හැකිතාක් භාවිතා කරන ලෙසටයි නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
    රාත්‍රී රාජකාරි යොදවන නිලධාරින් එසේ ක්‍රියාකරන්නේ ද යන්න පිළිබඳව, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ රථවාහන ස්ථානාධිපතිවරුන් විසින් නිරන්තරවම අධීක්ෂණය කළ යුතු බවට ද වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
    අනතුරු සිදුවීමට ඇති හැකියාවත්, ආලෝක පරාවර්තන ජැකට් පැළඳ නොසිටීම තුළින් නිලධාරින් අනතුරට පත්වීමේ අවකාශය වැඩි බවටත් නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගත් බව නිවේදනයේ සඳහන් වනවා.

    Latest News