ජනපති, ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරඹයි

දෙසැ 16, 2024

    ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (15) ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් හමුවී තිබෙනවා.

    ඉන්දු - ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කරගැනීම පිළිබඳව ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

    එසේම ඉන්දියානු සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද සාකච්ඡා වුණා.

    ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් අතර හමුව ඉතා සුහදශීලි ලෙස පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳව එහිදී අවධානයට ලක් වුණා.

    මෙරට සංචාරක, ආයෝජන සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහාය දැක්වීමට ඉන්දියානු රජය එකඟතාවය පළ කරන බවද ආචාර්ය එස්.ජයිශංකර් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

    ඉන් අනතුරුව ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල්‍, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවකට එක්වුණා.

    විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on සදුදා, 16 දෙසැම්බර් 2024 08:56

    Latest News