බාලදක්‍ෂ ව්‍යාපාරය කාලානුරූපව වෙනස් විය යුතුයි: ජනපති

අප්‍රේ 06, 2019

    ප‍්‍රතිපත්ති හා මූලධර්මවලට හානියක් නොවන අයුරින් බාලදක්ෂ ව්‍යාපාරය කාලානුරූපව වෙනස්කම්වලට භාජනය විය යුතු බව ජනපති පවසයි.

    දොළොස් වැනි ජාතික පෝතක බාලදක්ෂ කබෝරියේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වුණු අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ දී අවම වශයෙන් එය පාසල් දරුවන්ගෙන් 25‍% වත් නියෝජනය වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා විනයෙන්, හික්මීමෙන් මෙන්ම ගුණදම්වලින් පොහොසත් අනාගත පරපුරක් ගොඩනැඟීමට බාලදක්ෂ ව්‍යාපාරය ඉතා වැදගත් බව ප‍්‍රකාශ කළේය. එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ විශිෂ්ට අනාගත පරපුරක් රට තුළ ගොඩනැඟීම වෙනුවෙන් අධ්‍යාපන පද්ධතියේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව මේ වන විට විශේෂ අවධානයක් යොමු කරමින් අධ්‍යාපන විශේෂඥයන්ගේ උපදෙස් අනුව අදාළ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බවයි. 

    ශ‍්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය මගින් වසර 03කට වරක් ජාතික මට්ටමින් සංවිධානය කරන ජාතික කබෝරිය "අපේ උරුමය මව්බිමයි" තේමාව යටතේ අද සිට අප්‍රේල් 08 වනදා දක්වා වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී පැවැත් වේ. මෙම කබෝරිය සඳහා ශ‍්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණි වයස අවුරුදු හතත් එකොළහත් අතර වයසේ පසුවන පෝතක බාලදක්ෂයින් 7500 ක් ද ආචාර්යවරුන් හා වරියන් 750 ක් පමණ එක්ව සිටින අතර ප‍්‍රථම වරට දකුණු ආසියාතික රටවල්වල පෝතක බාලදක්ෂ දරුවන් හා නායක නායිකාවන් 300ක් පමණ ඊට එක්ව සිටී. තෙදිනක් පුරා පැවැත්වෙන කබෝරිය විශේෂාංග රැසකින් සමන්විත අතර එම දරුවන්ගේ වයසට ඔබින විෂය නිර්දේශ යටතේ පුහුණුවීම් ලබාදීම සිදු කෙරෙන අතර විනෝදජනක අවස්ථා මගින් දැනුම ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ.


    කබෝරි පදක්කම් කට්ටලය කබෝරි සංවිධායක කොමසාරිස් වත්සලා විජේවික‍්‍රම මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය. කබෝරි සමරු ඵලකය කබෝරි ලේකම් රේණුකා සිල්වා මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද, ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ඉංජිනේරු මෙරිල් ගුණතිලක මහතා ඇතුළු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 07 අප්‍රේල් 2019 11:30

    Latest News