ජනපති සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක් (වීඩියෝ)

අප්‍රේ 08, 2019

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් අතර හමුවක් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    තෘප්තිමත් කාර්යක්ෂම සහ සතුටින් මහජන සේවාවේ නිරතවන පොලිස් සේවාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණිවල නිලධාරින්ගේ ගැටලූවලට විසඳුම් ලබාදීම සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට කි‍්‍රයාත්මකයි. එම වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලීය.

    පොලිස් නිලධාරින්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම, පොලිස් නිලධාරින්ගේ සංයුක්ත දීමනාව ඉහළ නැංවීම, පොලිස් ස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීම යනාදී කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට ලක් විය. ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ පොලිස් නිලධාරින්ගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක විය යුතු බවත්, සෑම පොලිස් නිලධාරියෙක්ම පූර්ණ සෞඛ්‍ය පරීක්‍ෂණයකට ලක් කිරීම අත්‍යාවශ්‍ය බවත් ය.

    නාරාහේන්පිට පොලිස් රෝහල පුළුල් කිරීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ජාවට ලක් වූ අතර, ඒ වෙනුවෙන් පොලිස් රෝහල ඉදිරිපිට ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම මුදල් ගෙවා පොලිස් දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. එමෙන්ම පොලිතින් භාවිතය නියමානුකූල කිරීම පිණිස පොලීසියට බලතල නොමැති බැවින් ජාතික පරිසර පනතට අදාළ රෙගුලාසි සංශෝධනය කඩිනමින් සිදු කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දෙන ලදී.

    හෙරෝයින් භාවිත කරන්නන් සහ ඊට ඇබ්බැහිවූවන් පිළිබඳ ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් පොලිස් අත්ඩඅංගුවට පත් හෙරෝයින් භාවිත කරන්නන් පිළිබඳ දත්ත ඇසුරෙන් සිදුකරන ලද සමීක්ෂණය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි. 

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද , පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිහු මෙම හමුවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 20:22

    Latest News