බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූ 230ක් තවමත් රෝහල්වල

අප්‍රේ 23, 2019

    බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලැබූ 230කට අධික පිරිසක් තවමත් රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබමින් සිටී.

    ජාතික රෝහලේ පමණක් එලෙස 111 දෙනෙකු ප්‍රතිකාර ලබන බව, හදිසි අනතුරු අංශය පවසයි. පිපිරීම්වලින් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කෙරුණු පිරිස 263 දෙනෙක්. මේ වනවිට බොහෝ දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර, 25 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

    මඩකලපුව සියෝන් දේවස්ථානයේ පිපිරීමෙන් තුවාල ලැබූ 48 දෙනෙකු මඩකලපුව මහ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව අප වාර්තාකරු පවසයි. සිද්ධියෙන් 29 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වූහ. හඳුනා නොගත් මළ සිරුරක් මෙතෙක් බාරදී නොමැත.

    මීගමුව මහ රෝහලේ දැනට ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 60 දෙනෙක්. තුවාලකරුවන් 38 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ. මියගිය 84 දෙනෙකුගේ සිරුරු ඥාතීන් වෙත බාරදී ඇති අතර, තවත් සිරුරු 18ක් හඳුනාගත නොහැකි වීමෙන් බාරදීමට හැකිවී නැහැ.

    මීට අමතරව, මාරවිල මහ රෝහලේ තුවාලකරුවන් දෙදෙනෙකු, රාගම ශික්‍ෂණ රෝහලේ සිව් දෙනෙකු සහ කළුබෝවිල මහ රෝහලේ දෙදෙනෙකු ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

    Latest News