ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සර්ව ආගමික කමිටුව රැස් වූ අවස්ථාවේ දී ය.
මෙම විනාශකාරි ත්‍රස්තවාදය රටින් මුලිනුපුටා දැමීමට සියලු පාර්ශ්වයන්ගේ සහාය මේ වන විට අප වෙත හිමි ව තිබෙන බව ජනාධිපතිතුමා මෙහි දී සඳහන් කළේය. මෙම කටයුත්තේ දී තමා මෙරට ආරක්ෂක අංශ පිළිබඳව දැඩි විශ්වාසයක් තබා ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා, කිසිඳු ආකාරයකින් විදේශීය හමුදා මෙරටට ගෙන්වීමට කටයුතු නොකරන බව ද සඳහන් කළේය. මෙම අනපේක්ෂිත අවස්ථාවේ ජනතාව අතර නොසන්සුන්කාරි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතබා සාමාන්‍ය ජනතාව අතර සාමය සහ සංහිඳියාව ගොඩනැඟීමේ වගකීම ඉටුකිරිමට මෙරට සියලු ආගමික නායකයන් කැපවනු ඇති බවට ජනාධිපතිතුමා විශ්වාසය පළ කරන ලදී. මෙම ඛේදවාචකය හමුවේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු සියලු කිතුනු පූජකවරුන් මෙන්ම කිතුනු ජනතාව කටයුතු කළ සාමකාමී අන්දම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ ජනාධිපතිතුමා ඔවුන් එමඟින් රටටම ආදර්ශයක් සපයා තිබෙන බව ද පැවසීය.
රට තුළ මතුව ඇති තත්ත්වය මර්දනය කරමින් ජනතාව අතර සාමය සහ සංහිඳියාව තහවුරු කිරීමට ගතයුතු පියවර පිළිබඳ මහාසංඝරත්නය ප්රමුඛ සර්ව ආගමික නායකයන් මෙහි දී දීර්ඝ වශයෙන් තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.
මෙහි දී අදහස් දැක් වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ මෙම කි‍්‍රයාවලිය කිසිසේත් ඉස්ලාමීය ජනතාව සිදුකළ එකක් නොවනවා සේ ම මෙරට බහුතර මුස්ලිම් ප්‍රජාව මෙම ත්‍රස්ත ක්‍රියාවන්ට තරයේ විරුද්ධ වන බවත්, මීට වගකිව යුතු ත්‍රස්ත සංවිධානයට එරෙහිව කඩිනම් පියවර ගත යුතු බවත් ය. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙරට බුද්ධි අංශ ශක්තිමත් කිරීමේ වැදගත්කම ද උන්වහන්සේ පෙන්වා දුන් අතර, පසුගිය වසර කිහිපය තුළ සිදු වූ ජාත්‍යන්තර අතපෙවීම් මෙරට බුද්ධි අංශ අඩපණ වීමට ඉවහල් වූ බව ද කියා සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායට අලුතින් එක් වූ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම රටේත්, සමස්ත ජනතාවගේත් ආරක්ෂාව වෙනුවෙන් වෙනස්වීමකට බඳුන් විය යුතු බව තමන්ගේ ද යෝජනාව බවයි. ජාතින් වශයෙන් බෙදා වෙන් කර ඉගැන්වීම් සිදුකරන පාසල් ඉවත් කළ යුතු බව පෙන්වා දුන් උන්වහන්සේ වෙන් වූ විට භේද ඇතිවනවා මිස එකමුතුකම ඇති නොවන බව පෙන්වා දුන් අතර භාෂා දැනුම වර්ධනය කිරීම තුළ සමාජයේ සියලුදෙනා අතර විශ්වාසය සහ අවබෝධය ගොඩනැඟිය හැකි බව සඳහන් කළේය.
සමස්ත ලංකා ජයතුල්ලා උලමා සංවිධානයේ සභාපති ෂේක් මව්ලවි රිෂ්වි තුමා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම ෂී ත්‍රස්ත සංවිධානයේ ශ්‍රී ලංකාවේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ තම සංවිධානය 2014 වසරේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ආරක්ෂක අංශ වෙත තොරතුරු සැපයූ බවයි. එහෙත් ඒ පිළිබඳ එම කිසිවෙකුගේ අවධානය යොමු නොවූ බව ද එතුමා සඳහන් කළේය.
මේ අතර මව්ලවි අර්ක්‍රම් නූර් අමීඩි තුමා අදහස් දක්වමින් දිගුකලක පටන් මෙරට මුස්ලිම් ප්‍රජාව රටේ සියලු ජනවර්ග සමග සුහදශීලී ව සහ සහයෝගයෙන් යුතුව විසූ බවත් ඉතා සුළු පිරිසක් විසින් සිදුකළ මෙම ම්ලේච්ඡ කි‍්‍රයාව හේතුවෙන් සමස්ත මුස්ලිම්වරු අපහසුතාවයට පත්ව ඇති බවත් සඳහන් කළේය. එසේම මෙම ත්‍රස්ත කණ්ඩායම මැඩලීමට උපරිම සහය රජයට ලබාදීමට තම වැසියන් සූදානම් බව ද මව්ලවිතුමා වැඩි දුරටත් පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් පූජ්‍ය කොටපොල අමරකිත්ති ස්වාමින් වහන්සේ සඳහන් කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් නියෝජිතයන් ද මෙවැනි සාහසික ක්‍රියාවන්ට වගකිව යුතු බව පෙනී යන බවත් පාර්ලිමේන්තු නිල බලයට මුවා වී ඔවුන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනාධිපතිතුමා දැඩි අවධානය යොමු කළ යුතු බවත් ය.
ආගමික නායකයෝ රැසක් මෙහි දී සර්ව ආගමික කමිටුවට තම අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය මුළුමනින්ම රටින් තුරන් කර, ජනතාව අතර සාමය සහ විශ්වාසය ගොඩනැඟීමේ වැඩපිළිවෙලේ දී මෙම සියලු අදහස් සහ යෝජනා සැලකිල්ලට ගන්නා බවයි.