කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනාගේ ආභරණ සොරා ගෙන

මැයි 04, 2019

    සීගිරි අභය භූමියට අයත් ස්ථානයක තැන්පත් කර තිබූ සීගිරි කාශ්‍යප රජුගේ දියණියන් දෙදෙනාගේ බවට සැලකෙන ආභරණ සහිත භාණ්ඩ, කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.

    රජුගේ දියණියන් වන උත්පලා සහ බෝධි වෙනත් ප්‍රදේශයක සඟවා කාශ්‍යප රජු සීගිරියෙන් දියකැපිල්ල ප්‍රදේශයේ සැඟව සිටි බව, අතීත තොරතුරුවල සඳහන්. දියකැපිල්ල, කොස්ගහාල්ල ප්‍රදේශයේ සීගිරිය අභය භූමියට අයත් වනයක් මැද අඩි 20ක පමණ ගැඹුරට වළක් හාරා ගලින් නිමවූ පෙට්ටියක බහා තිබූ බවට සැක කෙරෙන ආභරණ මෙලෙස සොරා ගෙන ගොස් තිබේ.

    ප්‍රදේශවාසීන් සීගිරිය වනජීවි කාර්යාලයට ඒ බව දැනුම් දී ඇති අතර, එම නිලධාරීන් කිලෝ මීටර 3ක් පමණ දුර කැලෑබද ප්‍රදේශයේ දී එම ස්ථානය සොයා ගෙන ඇති බව අප වාර්තාකරු පවසයි. එහි අඩි 20ක් පමණ ගැඹුරට වළක් හාරා ඇති බව, එම නිලධාරීන් ප්‍රකාශ කළේය. ඒ අසළ, ආරක්‍ෂිත නූල් ඇද, මල් තබා, පහන් දල්වා තිබූ අතර එහි තිබී ඉපැරණි යකඩ උණු කළ ද්‍රව්‍ය ද වනජීවි නිලධාරීන්ට හමුවී තිබේ.

    මේ සම්බන්ධව සීගිරිය පොලිසියට පැමිණිළි කර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කොට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව, සීගිරි වනජීවි කාර්යාලයේ අඩවි ආරක්‍ෂක සී.එම්.බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේය.

    Latest News