ප්‍රදේශ කිහිපයක් නොසන්සුන් කළ ප්‍රධාන සංවිධාන 03ක ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට

මැයි 14, 2019

    වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාසයට හෙට උදේ 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

    දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද රාත්‍රී 9.00 සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. එහිදී අදහස් දැක්වූ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා...

    “ වයඹ පළාත තුල පස්වරු 6.00 සිට හෙට පෙරවරු 06.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. ගම්පහ පොලිස් කොට්ඨාසයටම අද පස්වරු 7.00 සිට හෙට පෙරවරු 06.00 දක්වා ක්‍රියාත්මක වන ලෙසට පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කර තිබෙනවා. දිවයිනේ සෙසු අනෙකුත් ප්‍රදේශ සම්බන්ධයෙන් අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 04.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    ඊයේ දිනයේ ඇතිවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා...

    ඊයේ රාත්‍රී මිනුවන්ගොඩ සිදුවූ සිද්ධියට අදාළව ඊයේ රාත්‍රී සැකකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඉන් අනතුරුව අද තවත් සැකකරුවන් 05ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මේ අත්අඩංගුවට ගන්නා ලද 14 දෙනාම අද මිනුවන්ගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මැයි 29 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළා.

    මේ නීතිමය තත්වයන් යටතේ ඇප ලබාගැනිමට සිදුවන්නේ ගරු මහාධිකරණයකින් බව, සඳහන් කිරිමට අවශ්‍යයි. ඒ නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු වුණොත් වසර 10ක් දක්වා සිර දඬුවම් ද ලැබෙන බව, සඳහන් කළ යුතුයි. ඒ වගේම පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනුත් අත්අඩංගුවට ගෙන තියෙනවා වයඹ පළාතට අදාළව සැකකරුවන් 60කට අධික ප්‍රමාණයක්. මින් ඉදිරියට එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක යෙදී සිටියහොත් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව බලය පාවිච්චි කරමින් ඔවුන්ගේ ඒ ක්‍රියාවන් නතර කිරීමට කටයුතු කරන බව, සඳහන් කළ යුතුයි. එලෙස බලය පාවිච්චි කර මෙවැනි ක්‍රියා වහාම නතර කිරීමට කාලය එළඹ ඇති බව, අපි තරයේ විශ්වාස කරනවා.

    සංවිධාන තුනක ප්‍රධාන ක්‍රියාකාරීන් තිදෙනෙකු ද ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම සිදුවූ සිද්ධීන් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් තෙල්දෙණිය ප්‍ර දේශයේ දී විදානපතිරණගේ අමිත් ජීවන් වීරසිංහ යන අයවත්, ඒ වගේම වරකාපොළ ප්‍ර දේශයේදී අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර යන අයවත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස ප්‍රශ්න කිරීම සඳහා අවශ්‍යව සිටි තවත් අයෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට වෙත පැමිණ බාරවී තිබෙනවා. ඔහු ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් යන අය. මොවුන් තිදෙනාගෙන් ප්‍රශ්න කිරීම් සිදුවෙනවා මේ සිදුවූ සිද්ධින් පිළිබඳව“ යැයි පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 14 මැයි 2019 20:48

    Latest News