මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම ඉවතට

ජූනි 04, 2019

    ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටින ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණය මගින් පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මේ මස 13 වනදා සිට 18 වනදා දක්වා කාලසීමාව තුළ සිංගප්පූරුවට යාමට අවශ්‍ය ඇති බව කියා සිටියේය.

    ඒ සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    මෙහිදී විනිසුරු ආධිත්‍ය පටබැඳී මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර සිටියේ විදේශගත වීමට තිබෙන අයිතිය මූලික අයිතිවාසිකමක් වශයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පිළිගෙන ඇති බවයි.

    ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙත පණවා තිබූ විදේශ ගමන් තහනම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ අනුව එය ඉවත් කිරීමට නියම කළ අතර කෙසේ වෙතත් විදේශ ගත වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙස ද විත්තිකාර මන්ත්‍රීවරයාට නියම කළේය.

    විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලීමක් කරමින් එම නඩුවේ සාක්ෂි දුන් කහවගේ ඩග්ලස් නැමති සාක්ෂිකරුගෙන් නැවතත් හරස් ප්‍රශ්න ඇසීමට අවසර දෙන මෙන් ඉල්ලීමක් කළේය.

    එම ඉල්ලීම පිළිබඳ නියෝගය ජූලි මස 25 දා ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරු පටබැඳි මහතා ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2019 11:51

    Latest News