'විදුලිය මිලදි ගැනීමේ ගාස්තු සංශෝධනයක්'

ජූනි 05, 2019

    සූර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය නැවත සමාලෝචනය කර තිබේ.

    මේ සම්බන්ධව සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ සේවා සපයන ආයතනවල සහ ලංකා විදුලිබල මණ්ඩලයේ එකගත්වය ඇතිව යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බව විදුලිබල, බලශක්ති සය ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ඒ අනුව මේ වසරේ අගෝස්තු 01 දින සිට Net Plus ක්‍රමවේදය පමණක් ක්‍රියාත්මක කිරීමට ඕනැම විදුලි පාරිභෝගිකයෙකුට ලබාදීම, කි.වො. 50ට අඩු ධාරිතාවයන් සදහා වසර 20ක කාලය තුල විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක ගාස්තුව රු. 19.75 ක්ද, කි.වො. 50 සිට කි.වො. 1000 දක්වා විදුලිය මිලදි ගැනීමේ එක් ඒකකයක ගාස්තුව රු. 18.75 ක් ලෙස සංශෝධනය කර තිබේ.

    කි.වො. 1000ට වඩා ධාරිතාවයන්ගෙන් විදුලිය මිලදී ගැනීමේදී ලබාදෙන මුදල ඒකකයකට රු. 16.00 ක් වශයෙන්ද සංශෝධනය කර ඇත. මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය කරුණානායක මහතා පවසයි.

    රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන සූර්ය බල සංග්‍රාමය ගත වූ වසර 02 ක කාලසීමාව තුලදී වඩාත් ප්‍රශස්ත මට්ටමකට පැමිණ ඇති බවත්, මේ වනවිට සූර්යබලය දෙසට යොමූවී ඇති ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ දිශානතිය තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම වෙනුවෙන් සූර්යබල විදුලි ක්ෂේත්‍රයේ සංවර්ධනයක් ඇතිකළ යුතු බවත් අමාත්‍යාංශ ලේකම් බටගොඩ මහතා පැවසිය.

    නිවාස පියසි දසලක්ෂයක සූර්ය විදුලිබල පද්ධති සවි කර 2025 වනවිට මෙගාවොට් දහසක් ජාතික පද්ධතියට එක් කිරීම රජයේ අරමුණ වූ බවත්, 2020 වනවිට මෙගාවොට් 200 ක් ජාතික පද්ධතියට එක්කිරීමට සැලසුම් කල බවත් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    මේ වනවිටත් එම මෙගාවොට් 200 ලබාගෙන ඇති බවත්, මේ වනවිට සමාගම් 200 ක් පමණ අළුතින් බිහිවී, ඒ තුලින් සෟජු රැකියා අවස්ථා දසදහසක් පමණ නිර්මාණය වී ඇති බවත් පැවසු බටගොඩ මහතා පසුගිය වකවානුවේදි මෙම සූර්යබල සංග්‍රාමය නවත්වන බවට ප්‍රචාරයක් පැවති බවත්, එහි කිසිදු සත්‍යයක් නොමැති බවත් පැවසීය.

    Last modified on බදාදා, 05 ජූනි 2019 10:49

    Latest News