මහ කන්නයේ සිට වී මිල ඉහළට

ජූනි 24, 2019

    ලබන මහ කන්නයේ සිට වී මිල ඉහළ දමන බවත් දැනට පවතින සහතික මිල පිළිබඳ තමන් ද සෑහීමකට පත් නොවන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

    මහවිලච්චිය මහා වාරිමාර්ග ව්‍යාපාරයට අයත් කෘෂි මාර්ග හා ඇළවේලි සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතිය පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ මහසෙන් ගොවි සංවිධානයේ ගොවීන් දැනුවත් කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

    "මම බොහොම වගකීමෙන් කියනවා විෂයබාර ඇමතිවරයා හැටියට ලබන කන්නයේ ඉඳලා වී මිල වැඩි කරනවා. මොකද කන්න පහකින් වී මිල වැඩිකරලා නෑ...වී නිෂ්පාදන වියදම ගොඩක් ඉහල ගිහිල්ලා තියෙනවා.. ඒක නිසා සහතික මිලේ වෙනසක් කරන්න ඕන...දැන් හාල්මිල පලවෙනි වතාවට ගැසට් කරලා තියෙනවා... ගිය මාසේ තම්බපු නාඩු කිලෝවක් රුපියල් අසූවයි, සම්බා කිලොවක් රුපියල් අසූපහයි... අපි නාඩු කිලෝ එකක් රුපියල් තිස් අටට ගන්නකොට සම්බා කිලෝ එකක් රුපියල් හතලිස් එකට ගන්නකොට මුදලට සාපේක්ෂව සාධාරණව ඒ දෙන්න පුලුවන් වෙන්න ඕන පාරිභෝගිකයාට.

    අද කාලේ වී ගොවීන් මැෂින් එකෙන් කපලා තෙත පිටින් විකුණනවා එතකොට රුපියල් තිහක් විතර වෙන්නේ...අන්තිමේදී ගොවියෝ කියනවා වී මිළ අඩුයි කියලා...කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට මම තීරණය කෙරුවා ගොවි සංවිධාන කිහිපයක් අත්හදා බලන්න එන කන්නයේ වී වේලන මැෂින් ටිකක් ගොවි සංවිධාන වලට දෙන්න ඒක සාර්ථක වුනොත් අපට පුලුවන් ලංකාවටම ඒ වැඩේ සාර්ථක කරගන්න...වී කිලෝ එකන් වේලන්න සත විසි පහක්, සතපනහක් වගේ ගානක් යන්නේ හැබැයි ඒ වී ටික වේලලා ගබඩා කරලා තමන්ට තියාගත හැකියි එතකොට අපට උපරිම මිලට දෙන්න පුලුවන්...අද කාලේ මහා පරිමාන මෝල් හිමියෝ කරන්නේ මේ විදිහ සාමාන්‍ය පොඩි වියදමක් කරලා ලොකු ලාභයක් ගන්නවා රුපියල් පහලවක විතර ලාභයක් ගන්න පුලුවන් අපි බලාපොරොත්තු වෙනවා එක දිස්ත්‍රික්කයකට මැෂින් පනහක් විතර දීලා බලන්න...

    අපි ගොයම් කපන මැෂින් පනහක් එක දිස්ත්‍රික්කයකට දෙන්න බලාපොරොත්තු වෙනවා එතකොට ගොවි සංවිධාන විසින් මේ වගකීම බාරගන්න වෙනවා.දැන් මැෂින් තියෙන්නේ පුද්ගලික අංශයට විතරයි ඔවුන් කියන විදිහට වැඩ කරාම ඉතිරිවෙන දෙයක් නෑ..ඒක නිසා ගොවීන්ට පුලුවන් ඉන්ධනමිල දීලා ඒ වැඩේ කරගන්න... අපි ඒක අත්හදා බලන්න කටයුතු කරනවා... අපි ඒ කටයුත්ත කොහොම හරි ඔබතුමන්ලට කරලා දෙනවා...

    අපි දන්නවා පුනරුත්ථාපනය කල යුතු වාරිමාර්ග ගනනාවක් තියෙනවා දැනට ලැබෙන මුදල් ප්‍රමාණය මදි ඒ නිසා අපි සාකච්ඡා කරගෙන යනවා ප්‍රධාන ජලාශ නවිකරනය කරන්න...අලුතින් රොන් මඬ ඉවත් කරන්න, සැල්වීනියා ඉවත් කරන්න ඒ වගේම ඇලවේලි නවීකරනය කරන්නත් අලුතින් මුදල් ප්‍රතිපාදන ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා."

    මීට සමගාමීව මහවිලච්චිය මහ විලච්චිය මහ වාරිමාර්ග ව්‍යාපාරයට අයත් කෘෂි මාර්ග සංවර්ධනය පිළිබඳ වැඩසටහන් කිහිපයක් පේමඩුව ශ්‍රී සමගි අවමංගල්‍යධාර සමිති ශාලාවේහිද,සාලිය මාලා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී ද පැවැත්විණි.මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක ප්‍රසන්න ද සිල්වා මහතා වාරි කළමනාකරණ අධ්‍යක්ෂ චන්ද්‍රිකා ඇතුගල මහත්මිය ඇතුළු ගොවි සංවිධාන කිහිපයක නිලධාරින් හා ගොවීන් එක්ව සිටියහ.

    Latest News