බුදුන්ගේ වචනයෙන් ජිවත්වෙමු; මාරාන්තික උපවාස බෞද්ධාගමට අපහාසයක් - අගමැති (විඩියෝ)

ජූනි 28, 2019
  • බුදුදහම අනුව තමන්ගේ ජීවිතයට හෝ අනුන්ගේ ජිවිතයට හානි කිරීම කළ නොහැකි බවත්, එහෙයින් මාරාන්තික උපවාස කිරීම බුදු දහමට අපහාසයක් බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ ලග්ගල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරිණ. ඉඩම් හිමිකම් ඔප්පු සහ සමෘද්ධි හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරුණේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනතා නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා......

    “ජාතිවාදයක් ඇතිවෙන්න මුස්ලිම් මිනිසුන්ට ගහන්න ඕනේ නැහැ..අපිට යුද්ධ කාලේ උදව් කළා. අමතක කරන්න එපා. ඒ නිසා එතන වැරදි කළ අන්තවාදීන් ඉන්නවනම් ඒ අන්තවාදය පතුරන අයට විරුද්ධව ක්‍රියා කරන්න. අපි බුදුන් වහන්සේගේ වචනයෙන් ජිවත්වෙමු. වැරදි කරන අයට අපි දඬුවම් දෙමු. ඒක අපේ වැඩක්. ඒත් අපි කාටවත් ලේබල් අලවලා ජාතිවාදය ගෙනියන්න හොඳ නැහැ කියලා මම කියන්න කැමතියි. දැන් ජාතිවාදය විතරක් නොවෙයි උපවාසයත් කරනවා. මට ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ උපවාසය කරන එක බුද්ධ ධර්මයට අපහාසයක් කියලා. මම ඇහුවා ඇයි ස්වාමීන් වහන්ස කියලා. ඇයි අගමැතිතුමා දන්නේ නැද්ද උපවාසය කරලා මියයන්නේ නිගන්ඨයෝ විතරයි කිව්වා. නිගන්ටයෝ විතරයි උපවාස කරලා මියයන්නේ. අපිට අපේ ජිවිතය ගන්න බැහැ බෞද්ධයෝ හැටියට. දැවෙන ජිවිත ගන්නත් බැහැ. අපේ ජිවිත ගන්නත් බැහැ. නිගන්ඨයන්ට පුලුවන්. නිගන්ඨනාථපුත්‍ර තමන්ගේ ජිවිතය අරගත්තා. නිගන්ඨයෙක් හැටියට හිටපු බිම්බිසාර රජ්ජුරුවෝ උපවාසය කරලා මැරුණා. උපවාසය කරන එක අපේ ආගමට විරුද්ධයි. ජාතිවාදය අදින එක අපේ ආගමට විරුද්ධයි. අපි ඒ නිගන්ඨයන්ගේ ආගම් පස්සේ යන්න උවමනා නැහැ. මාධ්‍යයට සුළු සිද්ධියක් විශාල ලෙස ප්‍රසිද්ධියක් ලබලා දෙන්න පුලුවන්. ඒත් මාධ්‍යය බැහැ නිගන්ඨනාථ පුත්‍රයෙක් බුද්ධ පුත්‍රයෙක් බවට පත්කරන්න“ යැයි අගමැතිතුමා පැවසීය.

    ලග්ගල, විල්ගමුව මහා විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල අගමැතිතුමා අතින් අද විවෘත කෙරිණ. විද්‍යාලයේ සිසුන් විසින් මහත් හරසරින් අගමැතිතුමා පිළිගනු ලැබීය. තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථානය අරංගලදී අද විවෘත කෙරිණ. ඊට සිසුන් බඳවා ගැනීම සිදු කෙරුණේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නාවුල ශ්‍රී බෝධිමළු  විහාරාධිපති නාහිමියන් සමඟ සුහද පිළිසඳරක නිරතවුණු එතුමා ආගමික වතාවත්වලට සහභාගි විය.

    අගමැතිතුමා ගොඩිගමුව වැව නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කළේය. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 223ක්. යල-මහ දෙකන්නය වගා කිරීමට මෙමඟින් ජල පහසුකම් සැපයේ. ලග්ගල ප්‍රාදේශීය රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවකට අගමැතිතුමා එක්විය. ලග්ගල බස්නැවතුම්පොළ ඉදිරිපිටදී ජනහමුව පැවැත්වුණේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

    Last modified on සිකුරාදා, 28 ජූනි 2019 20:35

    Latest News