හදිසි දුම්රිය වර්ජනයෙන් මගීන් දැඩි පීඩාවට

ජූලි 04, 2019

    ඊයේ (03) මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය මේ වනවිට ද ක‍්‍රියාත්මකයි.

    මෙම හදිසි වැඩ වර්ජයන නිසා රාජකාරී සඳහා පැමිණෙන මගීන් ඇතුළු සියලු දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත් වූ බව වාර්තාවේ. දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පෙර දැනුම්දීමකින් තොරව හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි. දුම්රිය වර්ජනය හේතුවෙන් අද (04) පෙරවරුවේ කිසිදු කාර්යාල දුම්රියක් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    දුම්රිය පාලක මැදිරිය ද ප‍්‍රකාශ කළේ මධ්‍යම රාත‍්‍රියේ සිට මේ දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොවූ බවයි. ඊයේ මධ්‍යම රාත‍්‍රියට පෙර ගමන් ආරම්භ කළ රාත‍්‍රී තැපැල් දුම්රියන් පමණක් මේ වනවිට අදාළ දුම්රිය ස්ථානයන් වෙත ළඟා වෙමින් ඇති බවයි එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කර ඇත. 

    බීමතින් රාජකාරී කළ වෘත්තීය සමිති ලේකම්වරයෙකුට එරෙහිව විනය පියවර ගත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව ප‍්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් විවිධ බලපෑම් කරන බවට පවසමින් දුම්රිය සේවාවේ සියලු වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

    මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් වෙනත් අයෙකු එම තනතුර සඳහා පත් කිරීමේ සූදානමක් ඇති බවත් ඔවුහු චෝදනා කරති. මෙම තත්ත්වය අවසන් වන තුරු දුම්රිය වර්ජනය නතර නොකරන බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරන්නේ.

    දුම්රිය වෘත්තීය සමිති මීට පෙර ද ඉකුත් මාසයේ අග භාගයේදී ද වැඩ වර්ජනයක නිරත විය. ඊට හේතු වූයේ වැටුප් ගැටළුවක් ඇතුළු වෘත්තීය ඉල්ලීම් කිහිපයකි. පසුව එම වර්ජනය අවසන් කළ දුම්රිය වෘත්තීය සමිති සෑම සතියකම බ‍්‍රහස්පතින්දා මධ්‍යම රාත‍්‍රී 12.00සිට සිකුරාදා මධ්‍යම රාත‍්‍රී 12.00 තෙක් වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කෙරිණි. ඒ සමගම දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය.

    එසේ අත්‍යාවශ්‍ය සේවාවක් කළ පසුද ඉකුත් බ‍්‍රහස්පතින්දා දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක නිරත විය. කෙසේවෙතත් මෙම සතියේ සිට සතිපතා සිදු කරන එම වර්ජනය නතර කිරීමට දුම්රිය වෘත්තීය සමිති පෙරේදා (02) තීරණය කර තිබිණ.

    නමුත් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති යළි වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කර තිබියදීත් මගීන් අපහසුතාවට පත්වන පරිදි මෙලෙස යළි වැඩ වර්ජනයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කරන්නේ, වෘත්තීය සමිතිවලට අභිමත පරිදි ඕනෑම අවස්ථාවක වැඩ වර්ජන සිදු කළ නොහැකි බවයි. වර්ජනය පිළිබඳ වෘත්තීය සමිති දැනුම් දීමක් සිදුකර නොමැති බවත් ගැටළුවට මැදිහත් වී කඩිනමින් විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවත් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප‍්‍රකාශ කර ඇත. මීට අදාළ විශේෂ සාකච්ඡාවක් ප‍්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් සමඟ අද(04) පෙරවරුවේ පැවැත්වෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.

    ඒ අනුව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සාකඡාවක් සඳහා ප්‍රවාහන අමාතාංශ වෙත කැඳවා ඇත බව වාර්තාවේ. එසේම දුම්රිය වෘත්තිය සමිති සඳහන් කෙළ් අද උදෑසන 9.30 ට අමාතාංශයට පැමිණෙන ලෙස සාමානාකාවරයා විසින් තමන්ට දැනුන් බවයි.

    HATTON STATION 03

    මේ අතර දුම්රිය රියදුරන් විසින් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති හදිසි වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන වසා දමා තිබෙන ආකාරයක් අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් විය.

    HATTON STATION 01

    හැටන් සහ නාවලපිටිය දුම්රිය ස්ථාන මෙසේ පාලුවට ගොස් තිබු අතර දුම්රිය ස්ථානවල දල්වා තිබු විදුලි පහන් පවා නිවා දමා නොතිබු ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

    HATTON STATION 02

    අප ගාල්ල වාර්තාකරු සඳහන් කළේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වන කාර්යාල දුම්රිය 4ම ධාවන නොවන බවයි. මේ හේතුවෙන් කාර්යාල සේවයකයින් සහ සිසු දරුවන් දැඩි අපහසුතායකට පත් වී ඇත.

    මේ අතර වව්වනියාව සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන දුම්රියද වව්නියාව දුම්රිය ස්ථානයේ නවතා ඇති බව අප වව්නියාව වාර්තාරු සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූලි 2019 12:24

    Latest News