මහනුවර ඇසළ පෙරහැර අගෝ. 02 සිට-ආරක්‍ෂාවට විශේෂ වැඩපිළිවෙළක්

ජූලි 09, 2019

    මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්‍ෂාවට විධිමත් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    මහනුවර නගරය කලාප කිහිපයකට බෙදා එම ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ලබන මස 02 වැනිදා කප් සිටුවීමෙන් ආරම්භවේ. කුඹල් පෙරහැර අගෝස්තු 05 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වේ. රන්දෝලි පෙරහැර ආරම්භ වන්නේ අගෝස්තු 10 වැනිදායි. අගෝස්තු 15 වැනිදා දහවල් පෙරහැරින් ඇසළ මංගල්‍යය අවසන් වීමට නියමිතයි. එම කාලය තුළ ක්‍රියාත්මක ආරක්‍ෂක වැඩපිළිවෙළ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (09) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.

    “ශ්‍රී දළදා පෙරහැර ගමන් ගන්නා මාර්ගයත්, ඒ අවට ප්‍රදේශයත් කලාප 13කට බෙදලා තියෙනවා. ඒ කලාප 13 බාරව පොලිස් අධිකාරිවරයෙක් හෝ සහකාර පොලිස් අධිකාරිවරයෙකු කටයුතු කරනවා. පෙරහැර ගමන් කරන මාර්ගය අවට සෑම ස්ථානයක්ම පරීක්‍ෂාවට ලක්වෙනවා. සැලකිය යුතු බුද්ධි අංශ නිලධාරින් ප්‍රමාණයෙකුත් යොදවනවා. ඒ නිලධාරීන් හරහා ලබාගන්නා තොරතුරු මත වැඩිදුර පරීක්‍ෂණ සිදුවෙනවා“ යැයි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    Latest News