සැඟවී ඇති විශ්වාසභංග යෝජනා එළියට ඇදෙයි

නොවැ 17, 2018

    හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පසුගිය රජයට එරෙහි විශ්වාසභංග යෝජනා පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ස්ථාවර නියෝගවලට අනුව විවාදයට ගැනුණා.

    ඒ අතරින් ඇතැම් විශ්වාසභංග යෝජනා තවමත් විවාදයට නොගැනීම, කථානායකවරයාගේ පක්‍ෂග්‍රාහීත්වයට හොඳම නිදසුන් බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙන්වා දෙන්නේ. එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව 2018 මාර්තු 21 වැනි දින විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට බාරදෙනු ලැබුවා. එය විවාදයට ගැනුණේ, එම වර්ෂයේ අප්‍රේල් 04 වැනි දිනයි. එනම්, විශ්වාසභංග යෝජනාව බාරදී සති දෙකකට පසුවයි.

    එවකට මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායක මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් බාර දෙනු ලැබුවේ 2016 මාර්තු 24 වැනි දිනයි. එය විවාදයට ගැනුණේ ඉන් මාස දෙක හමාරකට පසු ජුනි 09 වැනිදායි. මේ අතර, රවී කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2017 අගෝස්තු තුන්වැනිදා විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට බාරදෙනු ලැබුවා. නමුත්, රවී කරුණානායක මහතා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන තුරුම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනුණේ නැහැ.

    2017 අගෝස්තු 24 වැනිදා එවකට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් බාරදෙනු ලැබුවා. එය මේ දක්වා විවාදයට ගෙන නැහැ. මෙවැනි පසුබිමක් තුළ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් බාරදෙනු ලැබුවේ, නොවැම්බර් මස 14 වැනි දිනයි. ඒ පිළිබඳ විවාදයක් නොමැතිවම විශ්වාසභංග යෝජනාව බාරදී විනාඩි 10කට පසුව ඡන්දය විමසීම විශ්මය ජනක සිදුවීමක් බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසන්නේ.

      ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 17 නොවැම්බර් 2018 19:37

    Latest News