ප්‍රසන්න රණතුංගට එරෙහි මීතොටමුල්ල සිද්ධියේ නඩුව 9/17 යළිත්

අගෝ 01, 2019

    ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය සැප්තැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ පස්වරු 13.30ට විභාගයට ගැනීමට නියමිතව තිබිණ.

    එහෙත් විනිසුරු මංජුල තිලකරත්න මාතාව වැලිකඩ සිරකරු ඝාතන නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරමින් අද දින එම නඩු කටයුත්තට සහභාගි වීමට නියමිතව ඇති නිසා මෙම නඩුවේ විභාගය සැප්තැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට තීන්දු කෙරිණ.

    ඉකුත් 2015 වසරේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ ඇයගේ ඥාති සොහොයුරකු වන නරේෂ් ෆාරික් යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.

    මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2019 11:50

    Latest News