රජයේ සේවකයින්ගේ 2500ක දීමනාව අර්ධ රාජ්‍ය සේවයට ලැබෙන අන්දම

අගෝ 01, 2019

    දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

    මේ අතර, අය-වැය යෝජනා අනුව රාජ්‍ය සේවකයන්ට ලබාදෙන රුපියල් 2,500ක දීමනාව පිළිබඳව ද අද පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කෙරිණ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා...

    “1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය යටතේ මගීන් හෝ භාන්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලදුව, 2019 ජුලි 27 වැනි දිනැති අංක 2133/65 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියමය මම ඉදිරිපත් කරමි.


    විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා..

    “2019 අය-වැය යෝජනා අනුව රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබා දුන්නද අර්ධ රජයේ ආයතන විසින් සැළකෙන සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, අධිකාරි යන ආයතනවල සේවකයින්ට මේ දක්වා එම රුපියල් 2500 ලබා නොදීම බරපතල අසාධාරණයක්. මෙම අසාධාරණය වහාම නිවැරදි කරන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිනවා“ යැයි මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

    අමාත්‍ය ගයන්ත කරුණාතිලක...

    “රාජ්‍ය සේවකයින්ට වැඩිකරන ලද වැටුප් දීමනාව මෙම අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින් සඳහා ද ඒ ආකාරයෙන්ම ගෙවිය යුතු බවට එම ආයතනවල ප්‍රධානීන්ට නියෝග නිකුත් කිරීමට නෛතික බලයක් අමාත්‍යාංශයට නොමැති බව සඳහන් කිරිමට කැමැත්තෙමි. කෙසේ වුවත් මෙම ප්‍රශ්නය අදාළ විෂයභාර මුදල් ඇමතිතුමාගේ අවධානයට ඉදිරියේදී යොමු කිරිමට මා බලාපොරොත්තු වන බවද සඳහන් කිරිමට කැමැත්තෙමි. මීට අමතරව පිහිටුවා ඇති පඩිපාලක සභා මගින් පඩි වැඩිකිරිමට අදාළ ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන තිබෙන බව, දැනුම් දීමට කැමැත්තෙමි. ඒ අනුව 2019 වර්ෂයේ පෙබරවාරි සිට පඩිපාලක සභා හයක වැටුප් වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. මීට අමතරව 2018 වර්ෂයේ පඩිපාලක සභා 19ක වැටුප් වැඩි කිරීමට ක්‍රියාකර තිබෙන බව, සඳහන් කර සිටිමි. වතුවල සේවකයින් සඳහා දැනට වතු හාම්පුතුන් වෘත්තීය සමිතිවල එකඟතාවයෙන් 2019 සිට 2021 දක්වාත් සාමුහික ගිවිසුමක් පවතී. මෙම සාමුහික ගිවිසුම මගින් වතුවල සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 700ක් ලෙස ද දිනකට රුපියල් 50ක ස්ථාවර මිල කොටස් අතිරේකයක් ද ඊට අමතරව දිනකට ලබාදිය යුතු තේ කිලෝ ප්‍රමාණයකට වඩා වැඩියෙන් කඩන තේ කිලෝවකට රුපියල් 40 බැගින් ද සේවකයින්ට ලබාගැනිම සඳහා හැකියාව ලැබී ඇති බව ගරු සභාවට සඳහන් කරමි. මේ අනුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩිකිරිමට සාපේක්‍ෂව පුද්ගලික අංශයේ සේවකයින් සඳහා ද වැටුප් වැඩිකිරිමට ඉහත ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බව ගරු සභාවට දැනුම් දෙමි“. යැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    මේ අතර, අභාවප්‍රාප්ත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජා සමරනායක අබ්දුල් මන්සූර් සහ වී.කේ. ඉන්දිය යන මහත්වරුන් පිළිබඳ ශෝක යෝජනා විවාදය ද අද පාර්ලිමේන්තුවේ දී පැවැත්විණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2019 19:56

    Latest News