දහම් අධ්‍යාපනය ගොඩනැගීම එක අරමුණයි; ජනපති කියයි

අගෝ 04, 2019

    ගුණවත් සහ විනයවත් සමාජයක් ගොඩනැගීමට දහම් අධ්‍යාපනය ඉතා වැදගත්වන අතර දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ කදුරුවෙල ජයන්ති විහාරයේ පැවති 124වන සමස්ත ලංකා දහම් පාසල් දින සැමරුම් ජාතික වැඩසටහනට එක් වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ යහපත් අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් විෂය දැනුමෙන් මෙන්ම ගුණ දහමෙන් ද දරුවන් පෝෂණය කළ යුතු බවයි. 124 වන සමස්ත ලංකා දහම් පාසල් දින සමරු කලාපය සහ දහම් පාසල් කොඩිය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    වසර 40ක සේවය සම්පූර්ණ කළ දහම් පාසල් ගුරුවරුන්ට උපහාර තිළිණ පිළිගැන්වීම, සාම විනිසුරු පදවි පිළිගැන්වීම සහ ගුරු දිමනා සහ නිල ඇඳුම් ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සංකේතවත්ව සිදු විය. දහම් පාසල් දින තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට තිළිණ පිළිගැන්වුණේ ද ජනාධිපතිතුමා අතිනි. “දහම් සිසු සවිය“ ශිෂ්‍යත්ව ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. දහම් පාසල් අරමුදල ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 100ක ප‍්‍රදානයක් සිදු කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය. මේ අතර “පිබිදෙමු පොළොන්නරුව“ දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 16ක වියදමින් කදුරුවෙල ජයන්ති විහාරයේ ඉදිකෙරුණු දෙමහල් නව ධර්ම ශාලාව සහිත සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින්වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප‍්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද නායක ස්වාමින්වහන්සේ, ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නායක ස්වාමින්වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, දිස්ති‍්‍රක් ලේකම් පණ්ඩුක අබේවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on ඉරිදා, 04 අගෝස්තු 2019 15:31

    Latest News