තංගල්ල නාගරික මන්ත්‍රිගේ අනවසර ඉදිකිරිම් ගැලවේ

අගෝ 06, 2019

    ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තංගල්ල පල්ලිකුඩාව වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර තිබූ සංචාරක ආපනශාලාවක් ඇතුළු අනවසර ඉදිකිරීම් කිහිපයක් අද(06) වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉවත් කරනු ලැබූණ.

    වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා සකස් කර තිබූ ගල් වැටියක් මත ඉදිකර තිබූ සංචාරක ආපනශාලාවක් සහ තවත් අනවසර ඉදිකිරීමක් මෙලෙස ඉවත් කළේය.

    මෙම ආපනශාලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට අයත් එකක්යැයි පොලිසිය කියයි. එය ඉවත් කරන ලෙස මීට ඉහතදී අධිකරණයෙන් කිහිපවතාවක් දැනුම් දීමෙන් අනතුරුවද එය ඉවත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස ඉවත් කිරීමට කටයුතු කළ බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රීක් සහකාර අධ්‍යක්ෂ කේ.බී.බී.ඉඳුනිල් තුෂාර මහතා පැවසීය. තවදුරටත් මෙවැනි අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.

    වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු දැනුම්දීම පරිදි තංගල්ල වෙරළ තීරයේ පැවති ඇතැම් අනවසර ඉදිකිරීම් ඊයේ පෙරවරුවේ ඉවත් කර තිබූ බවද ඉඳුනිල් තුෂාර මහතා කීවේය. තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැනුම්දීම පරිදි ඉවත් කිරීමට කටයුතු කර නොමැති අනවසර ඉදිකිරීම් පමණක් මෙලෙස ඉවත් කළ බවද ඔහු පැවසියීය.

    වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විට ආපනශාලාවේ භාණ්ඩ ඉවත් කරමින් තිබෙන ආකාරය දක්නට හැකි විය. තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ තංගල්ල පොලිස් කොට්ඨාස කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන් විශාල ප්‍රමාණයක්ද ආරක්ෂාව සඳහා යොදවා තිබිණි.

    ඇතැම් දේශපාලන බලපෑම් හේතුවෙන් මෙලෙස තෝරාගත් ඉදිකිරීම් කිහිපයක් පමණක් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළ බව වෙළෙදසැල් හිමියෝ චෝදනා කරති.

     

     

     

    Latest News