ජනපති කාම්බෝජයේ සිව්දින රාජ්‍ය සංචාරයක් අරඹයි

අගෝ 07, 2019

    ශ‍්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දිගුකාලීන සබඳතා නව ක්ෂේත‍්‍රයන් කරා ව්‍යාප්ත කරමින් අන්‍යෝන්‍ය ප‍්‍රතිලාභ තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජියේ රාජ්‍ය සංචාරයකට එක්ව සිටී. 

    ඒ කාම්බෝජ රජයේ විශේෂ නිල ආරාධනයක් පරිදිය.

    ජනාධිපතිතුමා අද පෙරවරුවේ කාම්බෝජියා වෙත පැමිණි අවස්ථාවේ නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය සහ රාජ්‍ය මාළිගාවේ අමාත්‍ය සම්දෙච් චාවුපේආ වේන්ග් කොන්ග් සොම් ඕයි මහතා ඇතුළු එරට රජයේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් විසින් පිළිගනු ලැබිණ. සිය සංචාරය තුළදී ජනාධිපතිතුමා කාම්බෝජියා රජු වන නරදොම් සිහමෝනි හමුවීමට නියමිත අතර කාම්බෝජියා අග‍්‍රාමාත්‍ය හුන් සෙන් මහතා ඇතුළුව රජයේ ඉහළ නියෝජිත පිරිසක් සමග ද්විපාර්ශ්වික සාකච්ජා පැවැත්වීමට නියමිත ය.

    දෙරට අතර ආර්ථික, වෙළඳ, සංචාරක මෙන්ම බෞද්ධාගමික සබඳතා පුළුල් කරගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇති අතර ඒවාට අදාළ නව ගිවිසුම් කිහිපයකටද එළඹීමට නියමිත ය.

    මේ අතර ජනාධිපතිතුමා අද පස්වරුවේ ශ‍්‍රී ලංකා කාම්බෝජියා ව්‍යාපාරික සමුළුවේ සමාරම්භක සැසිය සඳහා ද එක්වීමට නියමිත ය.

    Latest News