මුදල් විශුද්ධීකරණය යටතේ සජින් වාස්ට අධිචෝදනා

අගෝ 08, 2019

    සජින් වාස් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටියදි නීති විරෝධීව රුපියල් කෝටි තිහකට අධික මුදලක් අත්පත් කර ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

    2015 වසරේ පෙබරවාරි මස 02 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකරන ද විමර්ශනයකින් අනතුරුව මෙම නඩුව ගොනු කිරීමට පියවර ගත් බව නීතිපතිවරයාගේ සම්බන්ධයෙන් කරන නිළධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

    2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතාට "කොස්මෝස්" යන නාමය යටතේ ව්‍යාපාර සමූහයක් පැවැති අතර ඊට ව්‍යාපාර විසි එකක් ඇතුළත්ව තිබූ බවද විමර්ශන වලදී හෙළිවී තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමෙන් පසුව එම ව්‍යාපාර සියල්ලේම අධ්‍යක්ෂ ධූරවලින් ඉවත් වූ විත්තිකාර සජින් වාස් ගුණවර්ධන මහතා එහි කොටස් ඔහුගේ බිරිඳ වෙත පැවරූ බව ප්‍රකාශ කළද ඔහු එම ව්‍යාපාර කටයුතු සක්‍රීයව පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ද සඳහන් වේ.

    මෙම ව්‍යාපාර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් රුපියල් 306,268,194/- ක මුදලක් අයථා ලෙස අත්පත් කරගෙන තිබෙන බවත් ඒ තුළින් ඔහු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ අධි චෝදනා පත්‍රයේ සඳහන් වෙයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 08 අගෝස්තු 2019 17:18

    Latest News