රටේ දරුවන් වෙනුවෙන් නොබියව, නිවැරදි තීන්දු තීරණ ගන්න - අමාත්‍ය අකිල

අගෝ 28, 2019

    ‘ගුරු කුලවලට සීමා නොවී, රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් අලුතින් සිතා නොබියව, නිවැරදි තීන්දු තීරණ ගන්න, මතුවන ඕනෑම ගැටළුවකට පාර්ලිමේන්තුවෙදි මම මුහුණ දෙන්නම්’ යැයි අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙයි.

    කාලයක් තිස්සේ පුරුදු පුහුණු කළ නිසා හෝ පොත්පත් බොහෝ ලියැවී ඇති නිසා හෝ පහසුව නිසා හෝ විෂය දැනුම පවතින අයුරින් පවත්වාගෙන යාම නතර කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. එසේම රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන්, අනාගත ලෝක තත්ත්වයන්ට ‍මුහුණදිය හැකි අයුරින් සමස්ත අධ්‍යාපන පද්ධතිය නව්‍යකරණයට ලක්කිරීම පිණිස සියලු පාර්ශව විසින් අලුතින් සිතා නිවැරදි තීන්දු තීරණ ගත යුතු බව ද ඔහු පෙන්වා දෙයි. එහි දී මතුවන ඕනෑම ගැටළුවකට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටීමට තමා සූදානම් බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, රුපියල් මිලියන සියයක මූල්‍ය ප්‍රතිපාදන සහිතව ජාතික අධ්‍යාපන ආයතනයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත තෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවයේදීය. ඒ වෙනුවෙන් අද (28) මහරගම ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයේ මෙම උත්සවය සංවිධාන කර තිබිණි.

    ඒ අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූවේ, ශ්‍රී ලංකාවේ ලක්ෂ 45කට ආසන්න පාසල් දරුවන්ගේ අනාගතය රැඳී ඇත්තේ අධ්‍යාපන පද්ධතිය තුළ ඔවුන් වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ මත බවයි. එහි දී ගුරුවරුන් පුහුණු කිරීම, විෂයමාලා සංවර්ධනය, සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව්‍යකරණයන් සඳහා උපයෝගී වන පර්යේෂණ කාර්යයන් මෙහෙයවීම ඇතුළු විශාල කාර්යභාරයක් පැවරී ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනයට බව ඔහු එහි දී සඳහන් කළේය. මෙම ක්‍රියාවලියේ දී ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව සහ ප්‍රකාශන දෙපාර්තමේන්තුව අතර මනා සම්බන්ධීකරණයක් පැවතිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මෙහි දී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා...

    “විශේෂයෙන් ම එදා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටි රනිල් වික්‍රමසිංහ මැතිතුමා 1985 මේ ආයතන‍ය ආරම්භ කළේ මේ රටේ ඉන්න නුපුහුණු ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් සහ විෂයමාලා සංවර්ධනයට වෙනම ආයතනයක් තිබිය යුතුයි කියන විශ්වාසයත් එක්කයි. විෂය මාලා වෙනස් වීමේ වැදගත්කම ප්‍රගති සමාලෝචන රැස්වීම්වලදීත් මතු වූ ප්‍රධාන කරුණක්. පසුගිය කාලය තුළ විද්‍යාපීඨවල විෂය මාලා වෙනස් වෙලා තිබුණෙ නෑ. අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. අතීතයේ දැනුම දෙගුණයකින් වෙනස් වෙන්න අවුරුදු 100ක් ගතවුණා. ඒත් දැන් දැනුම දෙගුණයකින් වෙනස් වෙන්න යන්නෙ...මාස 13යි. සමහර අලුතින් හිතන්න බැරි අයට, දූපත් මානසිකත්වයෙන් හිතන අයට මේව විහිළු විදියට පේන්න පුළුවන්. ඒත් අපි අධ්‍යාපන පද්ධතියෙ තීන්දු තීරණ ගන්නෙ ඒ හැමදෙයක් ම හිතලයි...” යනුවෙන් අදහස් දැක්වීය.

    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, නුදුරේ දී ම පාසල් සිසුන් වෙත ටැබ් පරිගණක 97,000ක් ලබාදෙන බවත්, මේ වනවිටත් ඩිජිටල් පන්ති කාමර විශාල ප්‍රමාණයක් අලුතින් ආරම්භ කර ඇති බවත්, පවසා සිටියේය. තවද දරුවන්ට නවීන පහසුකම් සමග නව දැනුම සමීප කරවීම වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය තුළ එවැනි නව හඳුන්වාදීම් සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගැනීමට හැකි වූ බව ද සඳහන් කළේය.

    එසේම පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටට දායාද කරමින් ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නංවන ලද බව ඔහු සඳහන් කළේය. තවද ‍භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ද මෑතකාලීන ව විශාල කාර්යභාරයක් සිදුකළ බව අමාත්‍යවරයා පවසා සිටියේ ය. විධිමත් ව ගුරුතුලනයක් නොවීම නිසා ගුරු හිඟය හා අතිරික්තය අතර විශාල පරතරයක් පැවති බවත්, එය හඳුනාගනිමින් සැබැවින්ම පැවති 20,000ක් වන ගුරු හිඟය පියවීමට පියවර ගත් බවත් සඳහන් කළේය. තවද විද්‍යාපීඨවල බඳවා ගැනීම්වල පසුගිය කාලයේ පැවති ප්‍රමාදයක් වළක්වමින් එකවර සිසුන් 8,000ක් බඳවාගැනීමට කටයුතු කළ බවත් ඒ අනුව විද්‍යාපීඨවල භෞතික හා මානව සම්පත් පහසුකම් සංවර්ධනයට ද පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    එමෙන්ම තාක්ෂණවේදය සඳහා ගුරුවරුන් පුහුණු ‍කිරීම වෙනුවෙන් එළඹෙන 31 වැනි දින කුලියාපිටියෙ නාරංගල්ලේදී රුපියල් මිලියන 3000ක වියදමින් නව තාක්ෂණ අධ්‍යාපන විද්‍යාපීඨයක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තැබෙන බවද සඳහන් කළේය. එමෙන් ම ඉදිරියේ දී විද්‍යා විෂයට අදාළ ව ගුරුවරුන් පුහුණු කිරීමට තවත් විද්‍යාපීඨ දෙකක් ඉදිකිරීමට ද කැබිනට් පත්‍රිකා සකස් කර ඇති බවත්, ඒ අනුව රටේ සමස්ත විද්‍යාපීඨ සංඛ්‍යාව 22 ක් බවට පත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    නිරන්තර ගුරු පුහුණුව, විදුහල්පති පුහුණුව ඉතා වැදගත් බවත්, මින් පෙර කිසිදු කාලයක ලබා නොදුන් තරම් දේශීය හා විදේශීය පුහුණු අවස්ථා රැසක් මෑතකාලීනව ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ලබාදුන් බව ද පෙන්වා දුන්නේය. එමෙන් ම පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධිලාභීන්ගේ හිඟය පිරවීම වෙනුවෙන් ද දේශීය හා විදේශීය අධ්‍යාපන පුහුණු අවස්ථා ලබාදීමට පියවර ගෙන ඇති බව ද, පැවසූ අමාත්‍යවරයා, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවත්නා බොහෝ ගැටළුවලට විසඳුම් සපයමින් නව අධ්‍යාපන පනතක් සකස් කිරීමට ද පියවර ගෙන ඇති බව ද තවදුරටත් ප්‍රකාශ කළේය. එමෙන් ම පාසල් පද්ධතියේ ගුණාත්මකබව තහවුරු කිරීමට ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවන්නට මේ වනවිට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    Latest News