සියලු දේශපාලකයින් වැඩක් නැහැ කියමන JVP මන්ත්‍රීන්ට අදාල නැහැ

සැප් 01, 2019

    රටේ දේශාපලනය සම්බන්ධයෙන් ජනතාව මේ වන විට අතෘප්තියක පසු වන බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    කොළඹ පැවති පළාත් පාලන නියෝජිත හමුවක් අමතමින් අද (01) පෙරවරුවේ ඔහු මේ බව සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

    "මේ වනවිට ජනතාවට දේශාපලනය සම්බන්ධයෙන් අතෘප්තියක් තිබෙනවා. පොදුවේ කතාබහක් තිබෙනවා, සියලූ දේශපානඥයන් වැඩක් නැහැ කියලා. නමුත් ඒ කතා බහ ජවිපෙ මන්ත්‍රීවරුන්ට අදාල නැහැ.

    ඒ කතාබහ ඇති වෙන්න කරුණු දෙකක් බලපාලා තිබෙනවා. ජනතාවගේ ඡන්දයෙන් බලයට ආපු පිරිස් අපේ රට ගොඩනැගීමට අසමත් වෙලා තිබෙනවා. දේශාපලන, ආර්ථික, සමාජයීය වශයෙන් රට සංවර්ධනය කරන්න පහුගිය වසර 71 තුළම පාලකයින් අසමත් වුණා. 1948 ඉඳලා මාරුවෙන් මාරුවට ඔවුන් රට පාලනය කළත් රට ගොඩනගන්න අසමත් වුණා. වසර 71ක් මදි නම් තවත් කොයි තරම් කාලයක් ඕනෑද අපේ රට හදන්න? ඒ වගේම මැතිවරණවලදී පොරොන්දු දුන්නට ජනතාවගේ බලාපොරොත්තු කිසිවක් ඉටු කරන්න මහජන නියෝජිතයෝ කටයුතු නොකිරීමත් මේ කළකිරීමට හේතු වෙලා තිබෙනවා.

    පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයෙන් මහජන නියෝජිතයෝ දිවුරුම් දීලා වැඩ පටන් අරගෙන දැන් වසර එක හමාරක් පමණ ගතවෙලා තිබෙනවා. නමුත් මේ වසර එක හමාර ඇතුළත ඔවුන් පිළිබඳව මාධ්‍ය තුළ කතාබහට ලක්වුණේ ගම සංවර්ධනය කිිරීම හෝ ජනතාවගේ බදු මුදලින් ජනතාවට සේවය කිරීම නෙවෙයි.

    මාධ්‍යවල වාර්තා වුණේ ඒ ජනතා නියෝජිතයින්ගේ සදාචාරය පිළිබඳ ප‍්‍රශ්නයි. ජනතාවගේ කළ කිරීම සාධාරණයි. එජාපය කිව්වා, තමන්ට ආණ්ඩු බලය තිබෙන නිසා ගම සංවර්ධනය කරන්න පුළුවන්, ඒ නිසා පළාත් පාලන ආයතනවල බලය ඒ ගොල්ලන්ට දෙන්න කියලා.

    මහින්ද රජපක්‍ෂලා කිව්වේ, ගම සංවර්ධනය කරන කතාවක් නෙවෙයි. මහින්ද අගමැති කරන්න ඡන්දය දෙන්න කිව්වා. නමුත් ජවිපෙ අපි හැම කොට්ඨාසයකටම, හැම සභාවකටම වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළා. ඒ අනුව පහුගිය මැතිවරණයෙක්දී ජවිපෙට ඉතිහාසයේ ලැබුණු වැඩිම පළාත් පාලන ආයතන ප‍්‍රමාණයක් ලබාදෙන්න ජනතාව කටයුතු කළා.

    පහුගිය කාලයේ එජාපයේ සහ මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමේ පළාත් පාලන නියෝජිතයෝ වැඩ කළේ කොහොමද? කුඩු ජාවාරමට සම්බන්ධ පොදුජන පෙරමුණේ මන්ත්‍රී අත්අඩංගුවට ගැනුන අතර එම මන්ත්‍රීවරයා දිගන ජාතිවාදී ප‍්‍රහාරවලටත් සම්බන්ධ බවට අත්අඩගුවට ගැණුනා. ඒ විතරක් නෙවෙයි මන්ත්‍රී බලය පාවිච්චි කරලා මැරකම් කරනවා. පොදුජන පෙරමුණේ මන්ත්‍රී ගිණි අවි සමග අත්අඩංගුවට.

    පොදුජන පෙරමුණේ කුරුණෑගල නගරාධිපති ගිණි අවි ළඟ තබාගැනීම නිසා අත්අඩංගුවට. ඉපලෝගම ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී වතුර පොම්පයක් හොරකම් කරලා. කාන්තාවකට ලිංගික අතවර කළා.

    ස්ත්‍රී දුෂණ, ළමා අපචාර විතරක් නෙවෙයි බූරුවා ගහලත් අත් අඩංගුවට ගත් මන්ත්‍රීවරු හිටියා. මේව තමයි මාධ්‍යවල වාර්තා වුණේ. ජනතාව දේශපාලනය ගැන කළ කිරීම සාධාරණයි. පහුගිය කාලය පුරාවටම සදාචාර සම්පන්න මන්ත්‍රීවරු බිහිකළේ නැහැ.

    ජනතා විමුක්ති පෙරමුණේ අපේ මන්ත්‍රී කණ්ඩායම එවැනි කිසිදු චෝදනාවකට ලක්වුණේ නැහැ. ජනතාව ලබාදුන් ඡන්දයේ ගෞරවය ආඩම්බරයෙන් ආරක්‍ෂා කළා. එවැනි පිරිසකට විතරයි අපේ රට ගොඩනැගීමේ කාර්යභාරය අතට ගන්න පුළුවන්. ජාතික ජන බලවේගය ලෙස ජනතා විමුක්ති පෙරමුණත් තවත් පාර්ශ්ව ගණනාවක් එක්ව අපේ රට ගොඩනැගීමේ කාර්යභාරයට උරදී සිටිනවා යැයි ඔහු කියා සිටියේය.

     

    Latest News