බම්බලපිටිය ජාත්‍යන්තර සම්මේලනය කඩාකප්පල් කිරීමට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ගයක්; පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සැප් 01, 2019

    අලුත්කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේ අද (01) සිට ලබන 10 වැනිදා දක්වා උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි පැවැත්වීමට එරෙහිව අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    “බම්බලපිටිය පොලිස් වසමේ මුහුදුබඩ මාර්ගය ආසන්නයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මේලනයට එරෙහිව විරෝධතාවක් හා උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවට බම්බලපිටිය පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත බම්බලපිටිය පොලිසිය විසින් අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඒ පිළිබඳ කරුණු වාර්තා කිරීමට කටයුතු කරමින් එයට අදාළ අධිකරණ නියෝගක් ඉල්ලා සිටියා. ඒ අනුව අධිකරණය විසින් අද දින ආඥාවක් නිකුත් කිරීමට කටයුතු කළා. ඒ අනුව අද සිට සැප්තැම්බර් 10 වැනි දින දක්වා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බලසීමාවේදී උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාලි සම්බන්ධයෙන් මේ ආඥාව නිකුත් කර තිබෙනවා. මෙම ආඥාව නිකුත් කර තිබෙන්නේ සිංහල ජාතික බලමුළුවේ කැඳවුම්කාර පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමි, රාවණා බලය කැඳවුම්කාර පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සහ එම උද්ඝෝෂණයට පෙළපාලියට සහභාගි වන සියලු දෙනාට එරෙහිවයි අධිකරණය විසින් අධිකරණ ආඥාව නිකුත් කර තිබෙන්නේ. ඒ වගේම සාමය කඩවන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකළ යුතු බවටත් එම ආඥාවෙන් නියෝග කර තිබෙනවා“ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

    Latest News