ජාතීන් අතර සමගිය අත්‍යවශ්‍යයි; කතානායක

සැප් 02, 2019

    රට සංවර්ධිත මාර්ගයකට යොමු කිරීමට නම්, ජාතීන් අතර සමගිය පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව, කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, මෝදර, මුක්කුලතොර් සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අද (02) එක්වෙමින්. රුපියල් මිලියන සියයක පමණ වියදමින් මෝදර, මුක්කුලතොර් සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කෙරිණ. ඊට අවශ්‍ය මුළු ප්‍රතිපාදන ලබාදුන්නේ, ශ්‍රී ලංකා මුක්කුලතොර් සංස්කෘතික සංගමය විසින්. කාලයක සිට පැවති අවශ්‍යතාවක් අනුවයි, එය ඉදි කෙරුණේ. විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මැති-ඇමතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    එහිදී අදහස් දැක්වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා...

    “විශේෂයෙන්ම මෙවැනි සංස්කෘතික මධ්‍යස්ථාන සෑදිය යුතුව තියෙන්නේ නගර සභාව එහෙම නැත්නම් ආණ්ඩුව. ආණ්ඩුවෙන් විය යුතු යුතුකමක්, නගර සභාවෙන් විය යුතු යුතුකමක් අද මුක්කුලතොර් සංවිධානය විසින් සිදු කිරීම අපි ඇත්ත වශයෙන්ම අගය කළ යුතුයි. විශේෂයෙන්ම ප්‍රදේශයේ සංස්කෘතික කටයුතුවලදී මෙවැනි ශාලාවක ප්‍රයෝජනය මම අමතුවෙන් කිය යුතු නැහැ“ යැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

    කතානායක කරු ජයසූරිය මහතා...

    “ජපානය 48 තිබුණු තත්වය දිහා බලනකොට අද අපේ රටේ මේ ජනතාව ඉතාමත්ම සුඛෝපභෝගී රටක ජීවත් වන්නේ. විශාල ආදායමක් ඇවිල්ලා, විශාල කර්මාන්ත ඇති කරලා, සියලුම සැප පහසුකම් තියෙන රටක ජීවත් වෙන්න ඕනේ. අපි ඇස් දන් දෙනකොට, ලේ දන් දෙනකොට සිංහල ලේ ද, මුස්ලිම් ලේ ද, දෙමළ ලේ ද කියලා බලන්නේ නැහැ. වකුගඩු දන් දෙනකොට අපි ජාතිය ගැන බලන්නේ නැහැ. අපිට අතීතය ගැන කතා කරලා, වර්තමානය ගැන කතා කරලා අපිට වැඩැක් නැහැ. දැන් අපිට අහිමි වෙච්ච දේ අපේ දරුවන්ට, නූපන් පරපුරට හොඳ ජීවිතයක් ගත කරන්න, සෞභාග්‍යමත් ජිවිතයක් ගත කරන්න පුලුවන්. ජාතික සමගිය ඇතිකරන්න මෙවැනි මධ්‍යස්ථානවලින් කටයුතු කරන්න පුලුවන් යැයි“ කතානායක කරු ජයසුරිය මහතා පැවසීය.

    Latest News