සන්ධාන, පෙරමුණු නොමැතිව කිසිවෙකුට ආණ්ඩු සැදිය නොහැකියි; ජනපති

සැප් 22, 2019

    අතීතයේ මෙන්ම අද ද සන්ධාන, පෙරමුණු නොමැතිව කිසිවෙකුට ආණ්ඩු සැදිය නොහැකි අතර ඉදිරි ජනාධිපතිවරණය ද ජයග්‍රහණය කළ හැක්කේ වාම ප්‍රගතිශිලී පෙරමුණු දේශපාලන ව්‍යාපාරයක් තුළින් බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (22) පස්වරුවේ මාතර වැලිගම නගර ශාලාවේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගොඩනැඟිය යුත්තේ රට වෙනුවෙන් දේශපාලනය කරන පිරිසකගේ පෙරමුණක් බවයි.

    හොරුන්, දූෂිතයන්, පාතාලයන් සහ මිනීමරුවන් කුමන පක්‍ෂයක සිටිය ද එම කිසිදු පක්ෂයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හිමි නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා අද ශක්තිමත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව කිසිවෙකුට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බව ද අවධාරණය කළේය.

    ඉදිරියේදී බිහිවන නව රජය රටට ආදයර කරන දේශප්‍රේමි සහ සියලු ජනකොටස් අතර විශ්වාසය තහවුරු කළ හැකි වැඩපිළිවෙළකට එළැඹිය යුතු බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ රටේ සියලු ජනතාවට සමානාත්මව සමාජයක ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම අද දවසේ දැඩි අවශ්‍යතාවයක් ව පවතින බවයි.

    එමෙන්ම විදේශ බලවේගවලට යටත් නොවන ආණ්ඩුවක් ඉදිරියේ දී රටේ බිහිවිය යුතු බව පැවසූ ජනාධිපතිතුමා කියා සිටියේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙකම තානාපති කාර්යාල සමඟ සාකච්ජා පවත්වමින් සිටින බවත්ය.

    රට පාවා දෙන දූෂිත බලවේග පරාජය කරන ජනතාවාදී වැඩපිළිවෙළක් රටට අවශ්‍ය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය, අභිමානය සහ පාක්ෂිකයන්ගේ ගෞරවය ආරක්ෂාවන වැඩපිළිවෙළකට ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දීප ව්‍යාප්තව සංවිධානය කරන දිස්ත්‍රික් සමුළු මාලාවේ තෙවන සමුළුව පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අද වැලිගම නගර ශාලාවේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, කුමාර වෙල්ගම, මනෝජ් සිරිසේන යන මහත්වරුන් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් රැසක් මීට එක්ව සිටියහ.

    Latest News